Sunday, April 24, 2011

ක්‍රිකට්‌ තාලය වෙනස්‌ වෙලා

ක්‍රිකට්‌ ක්‍රීඩාවකි. ඒත් ඉන්දියාවේ නම් එය ආගමකි. එංගලන්තයේ ඉපදවූ ක්‍රිකට්‌වලට ඉන්දියාවේදී වැඳුම් පිදුම් පවා ලැබේ. ඒ ක්‍රීඩකයන්ට දෙවියන්ට මෙන් සැලකිලි ලැබෙයි. ඉන්දියාවේ තරම් ක්‍රිකට්‌ ජනප්‍රිය කළ හැකි වෙන කිසිදු රටක්‌ මේ ලෝකයේ නැත. ඒ සඳහා හොඳම උදාහරණය අයි. පී. එල්. ය. අයිපීඑල්වලට සල්ලි ගංගා ගලා එති. සල්ලිවලින් නෑවෙන්නට අකැමැත්තෝ මේ ලොවේ නොවෙති. ඒ නිසා අයිපීඑල්වලට ලොව සතර දිග්භාගයේම වැඩකාරයෝ වෙති. ධනපතියෝ ඔවුන් කැඳවති.


එසේම අයිපීඑල් ක්‍රිකට්‌ චමත්කාරජනකය. එහි අමුතු ආකර්ෂණයක්‌ ඇත්තේය. විවිධ රටවල ක්‍රීඩකයෝ එකට එකතුව ක්‍රීඩා කරති, මවුබිමේ සහෝදර ක්‍රීඩකයන් පරාද කිරීමට වෙන රටවල ක්‍රීඩකයන් සමග කුමන්ත්‍රණ කරති. ජාති කිහිපයක සංකලනයන් එහි ඇත්තේය. ඒ අයිපීඑල් හි ඇති පෙනෙන වාසීන්ය. ඒත් එහි නොපෙනෙන වාසි හැම එකක්‌ම ඉන්දියාවටය. අලුත් ක්‍රීඩකයන් බිහි වන්නේ ඉන්දියාවටය. වැඩිලාභයද ඉන්දියාවට මිස ලංකාවට හෝ වෙනත් රටකට නොවේ.

අයිපීඑල් තරගාවලියට මෙවරද ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ දස දෙනෙක්‌ පමණ නියෝජනය කරති. ඒ අතරින් මහේලට සහ සංගක්‌කාරට කණ්‌ඩායම් දෙකක නායකත්වයද භාරදී ශ්‍රී ලංකාවට තවත් ගෞරවයක්‌ එක්‌කර දී ඇත. එහෙත් ශ්‍රී ලංකා ක්‍රිකට්‌ ආයතනය පවසන පරිදි නම් ඒ ගෞරවය තවත් දින කිහිපයකට සීමාවේ. මන්ද මැයි මස 05 වැනිදාට පෙර ඒ සියලුම ක්‍රීඩකයන්ට ශ්‍රී ලංකාවට පැමිණෙන ලෙස දන්වා තිබීමයි.

ඒ එළැඹෙන එංගලන්ත සංචාරය හේතුවෙනි. ඒ සඳහා නව නායකයකු ද පත්කර තිබේ. ඒ තිලකරත්න ඩිල්ෂාන්ය. සංගක්‌කාරගේ ඉවත්වීමෙන් හිස්‌වුණු නායකත්වය ඩිල්ෂාන්ට හිමිවීම අරුමයක්‌ නොවේ. මහේල ද එය ප්‍රතික්‌ෂේප කරන කල්හි ඩිල්ෂාන් හැරෙන්නට සුදුස්‌සකු කණ්‌ඩායම තුළ නැත. එහෙත් ඩිල්ෂාන්ට ඒ නායකත්වය අභියෝගයක්‌ වීම වැළැක්‌විය නොහැක. එංගලන්ත සංචාරය ඔහුට ප්‍රබල අභියෝගයක්‌ වනු ඇත. ඔහුට නායකත්වයේ පළමු පාඩම ක්‍රිකට්‌ උපන් දේශයෙන්ම ලැබීමද එක්‌තරා අතකට හොඳ දෙයකි.

එහෙත් ඉන්දියාවෙන් ලැබෙන ආරංචි අනුව නම් අයිපීඑල් ගිය ඇතැම් ශ්‍රී ලංකා ක්‍රීඩකයන් එංගලන්ත සංචාරයට එතරම් සූදානමක්‌ නැති බව පැවැසේ.
05 වැනිදාට පෙර නොඑන්නේ නම් ඒ සඳහා ආදේශ ක්‍රීඩකයන් පත් කිරීමට තරම් දරුණු තීරණ ශ්‍රී ලංකා ක්‍රිකට්‌ ආයතනයට ගැනීමට සිදුවී තිබෙන්නේත් මේ ක්‍රීඩකයන්ගේ ක්‍රියාකලාප හේතුවෙනි. එහෙත් හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට්‌ නායක සංගක්‌කාර පවසා තිබුණේ ශ්‍රී ලංකා ක්‍රිකට්‌ ආයතනය තමන් කැඳවන ඕනෑම අවස්‌ථාවක ශ්‍රී ලංකාවට එන්නට සූදානම් බවයි. සැබැවින්ම එය එසේ සිදුවිය යුතුය. එසේ සිදු නොවන්නේ නම් එය බරපතල කාරණාවකි.


රටක්‌, ජාතියක්‌ නියෝජනය කරන ක්‍රීඩකයන්ට වෙනත් රටක ප්‍රීමියර් ලීග් එකක්‌ තම මවුබිමට වඩා ලොකු විය නොහැක. ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ ශ්‍රී ලංකා ක්‍රිකට්‌ ආයතනය සමඟ ගිවිසුමකට බැඳී සිටිති. ඒ රට නියෝජනය කළ යුතු සෑම අවස්‌ථාවකදීම ඒ සඳහා ඉදිරිපත් විය යුතු යන්නයි. එය සුළුපටු බැඳීමක්‌ නොවේ. අයිපීඑල් ගිය ක්‍රීඩකයෝ ඉන්දියාව සමඟද ගිවිසුම් අත්සන් කර ඇත. එහෙත් ඒ ගිවිසුමට වඩා රට සමඟ ඇති ගිවිසුම බලවත්ය. ගිවිසුම් කොන්දේසි නැතත් රට වෙනුවෙන් ඔවුන් ක්‍රීඩා කළ යුතුය. එසේ ක්‍රීඩා කිරීම නියම ශ්‍රී ලාංකිකගතියයි. එහෙත් හිටපු ශ්‍රී ලංකා ක්‍රීඩකයකු වන මුත්තයියා මුරලිදරන් මීට වඩා වෙනස්‌ ප්‍රකාශයක්‌ කර තිබිණි. ඔහු පවසා තිබුණේ අයිපීඑල් අතර මඟ නවතා ශ්‍රී ලංකාවට පැමිණීම ඉන්දියාව තරහ කර ගැනීමක්‌ බවයි. එසේම ලෝක කුසලාන තරගාවලියෙන් අපට පාඩු වූ ඩොලර් මිලියන 15 ක පමණ මුදල් ප්‍රමාණය සොයාගැනීමට ඇති මඟ ඇහිරී යැමක්‌ බවයි.


මුරලි කරන මේ ප්‍රකාශයන්වල ඇත්තේ ඉන්දියාවට ගැතිභාවයක්‌ මිස වෙන යම් දෙයක්‌ නොවේ. මවුබිමට වඩා වෙන රටක්‌ හෝ වෙන රටක සල්ලි ලොකු විය නොහැක. වෙසෙසින්ම මුදලට නොවිකුණු ක්‍රීඩකයන් ඇතැයි සැලකෙන රටක්‌ ලෙස ශ්‍රී ලංකාව ඉතිහාසයට එක්‌ වී සිටී. ක්‍රිකට්‌ ආගමක්‌ වී ඇති ඉන්දියාවේද පාකිස්‌තානයේද මේ සම්බන්ධයෙන් ඇත්තේ යහපත් ප්‍රවණතාවක්‌ නොවේ. ඒ අතින් අපේ රටේ ක්‍රීඩකයෝ ගව් ගණනක්‌ ඉදිරියෙන් සිටිති. එහෙත් පසුගිය ලෝක කුසලාන අවසන් මහා තරගයට ක්‍රීඩා නොකළ තුන් ඉරියව් ක්‍රීඩකයකු සම්බන්ධයෙන් නම් අපට ඇත්තේ යම් කළකිරීමකි. ජනාධිපතිවරයාගේ පෞද්ගලික වෛද්‍යවරයා විසින් එම ක්‍රීඩකයාගේ ආබාධය සුවකර අවසාන මහා තරගයට සූදානම් කිරීමට විමසූ අවස්‌ථාවේ ඒ ක්‍රීඩකයා පවසා ඇත්තේ එසේ වුවහොත් තමාට රක්‌ෂණ සමාගමෙන් ලැබෙන කෝටි ගණනක මුදල නොලැබී යන නිසා ප්‍රතිකාර අනවශ්‍ය බවයි. එම සිදුවීම ඉතාම කනගාටුදායක එකකි. එසේම වරක්‌ අපගේ ඡායාරූප ශිල්පියකු ශ්‍රී ලංකා ක්‍රිකට්‌ කණ්‌ඩායමේ වඩාත් ආකර්ෂණයක්‌ දිනාගත් වේග පන්දු යවන්නකුගේ ඡායාරූප කිහිපයක්‌ ගැනීමට ක්‍රීඩාපිටියට බසින ලෙස කළ ඉල්ලීමකට ඔහු පවසා ඇත්තේ අව්ව සැර නිසා එසේ කළ නොහැකි බවයි.



මේ ශ්‍රී ලංකා ක්‍රිකට්‌ කණ්‌ඩායමේ සම්පූර්ණ ප්‍රතිරූපය නොවේ. එහෙත් ඇතැම් සිද්ධි හා ක්‍රීඩකයන් පිළිබඳව මේ කියෑවෙන ප්‍රතිරූපය යහපත් නොවේ. ඒ නිසා ඇතැම් ක්‍රීඩකයෝ එංගලන්ත සංචාරය සඳහා ශ්‍රී ලංකාවට කල් ඇතුව ආවේ නැතත් එතරම්ම පුදුම විය යුතුද නොවේ.

1 comment:

  1. ඔයා ඔය කියන තුන් ඉරියව් ක්‍රිඩකයා ඔය කියන රක්ෂණ මුදල් වලට කැදර කමේ ලෙඩේ සනීප කරනොගත්තායා කියන්න ඔයාට තියන සාධක මොනවද ? ඔයා දැක්කද ? මොකක්ද මුලාශ්‍රය ? . අනික එහෙම දෙයක් නම් ඇයි එයා දැන් ලෙඩේ සනීප කරගෙන අයිපීල් ගහන්නෙ නැත්තෙ? එංගලන්ත සංචාරයට යන්නෙ නැත්තේ . මැයි 5 එන්න කියල බොරු නීති දාල , දැන් ආයෙමත් ඒක මැයි 18 වෙනිදට දික්කරල චාටර් උනේ කව්ද? ක්‍රිකට් පාලක මණ්ඩලය නෙවෙයිද ? එ විතරක් නෙවෙයි BCCI එක් සල්ලි වලට යට උනා කියල කුණු නමක් ගා ගත්තේ ඒ නිසා නෙවෙයිද ?

    ReplyDelete

Total Pageviews

Advertise