Saturday, April 16, 2011

සමහරක්‌ යුවතියන් තමාට වඩා බොහෝ වයස්‌ගත පිරිමින්ට ආදරය කිරීමට පෙළඹෙන්නේ ඇයි?

සමාජය දෙස බලද්දි යුවතියන් තමාට වඩා වයසින් බොහෝ වැඩි පිරිමින්ට ආදරය කිරීමේ ප්‍රවණතාවක්‌ දක්‌නට ලැබේ. එම පදනම මත ඇතිවන ආදර සබඳකම් දුරදිග යැම මත, බොහෝ අවස්‌ථාවලදි ඇයට විවාහවීමට සිදුවන්නේද අවුරුදු 10 හෝ 15 ක්‌ වැඩිමල් පිරිමියෙකු සමඟිනි. 

මෙසේ වයසින් වැඩිමල් පිරිමියෙකුට ආදරය කිරීමට යුවතියන් බොහෝ විට පෙළඹෙන්නේ එකට කාර්යාලයක සේවය කරද්දි හෝ තමා සමඟ නිබඳවම ගැටෙන නැති පිරිමියෙකු සමඟිනි. එයට අමතරව, මෙසේ ඇතිකර ගන්නා පෙම් සබඳතාවක පිරිමියා බොහෝ විට විවාහකයෙකු වීමටද හැකිය. 

ප්‍රබල මානසික බැඳීමක්‌ 

බොහෝ අවස්‌ථාවලදී යුවතියන්, තමාට වඩා බොහෝ වයසින් මුහුකුරා ගිය පෙම් සබඳතා ඇතිකර ගන්නේ, ප්‍රබල මානසික බැඳීමක ප්‍රතිඵලයක්‌ ලෙසිනි. එහෙයින් එම යුවතිය සම වයස්‌ තරුණයෙකු සමඟ ඇතිකර ගන්නා පෙම් සබඳතාවකට වඩා, මෙය බොහෝ ප්‍රබලත්වයක්‌ පෙන්නුම් කරයි. මන්ද මෙහි පදනම වන්නේ, දැඩි දයාබරත්වයකි. උණුසුමකි. ගොඩනගා ගැනීමට බලපාන හේතු බොහොමයකි. මෙය සහමුලින්ම වැඩිකාලයක්‌ එකට සමීපව කටයුතු කිරීමේ ප්‍රතිඵලයක්‌ ලෙසින් ඇතිවන්නකි. බොහෝ යුවතියන්ට තමාගේ පියාගේ හෝ වැඩිහිටි පිරිමියෙකුගේ දයාබරත්වය හා සමීපබව නොලැබේ. එහෙයින් ඇයව රැකබලා ගැනීමට උපදෙස්‌ දීමට කරුණු අවබෝධ කරදීමට යමෙකු නොවේ. මෙසේ තමාට වඩා බොහෝ වයසින් වැඩි පිරිමියෙකු සමඟින් පෙම් සබඳතාවක්‌ ගොඩනගා ගන්නා යුවතියකගේ පියා ඇයට බොහෝ දුරස්‌ව සිටී. එනම් විදේශගතව සිටීම, දුර පලාතක රැකියාව කිරීම, පවුලෙන් වෙන්ව ජීවත්වීම හා ඇයට දයාබරත්වයක්‌ නොපෑම මෙම තත්ත්වයට බොහෝ හේතුවේ. එහෙයින් අප සමාජයේ මෙම තත්ත්වය යටතේ ජීවත්වන බොහෝ යුවතියන්ට "පිය සෙනෙහස" අහිමිවීමක්‌ තිබේ. 

එහෙයින් තමාට වඩා වයසින් වැඩි, නිබඳවම ගැටෙන පිරිමියෙකුට ඇගේ සමීපවීම මූලික වශයෙන්, පියාගෙන් නොලද සෙනෙහස 

නමුත් තමාට වඩා වයස අවු. 10-15 ක්‌ පමණ වැඩිමල් පිරිමියෙකු සමඟ පෙම් සබඳතාවක්‌ ගොඩනගා ගැනීමෙන් යම් යුවතියකට මානසික හා සමාජමය ගැටළු රැසකට මුහුණ පෑමට සිදුවේ. නමුත් මෙවැනි සබඳතා ගොඩනැගීම , තරුණයෙකු විසින් තරුණියකට තමා ආදරය කරන්නේ යෑයි පවසන්නේ, ඇගේ කැමැත්ත ලබා ගැනීමෙන් ඇතිවන්නක්‌ නොවීම විශේෂත්වයකි. මන්ද මෙම සබඳතා ක්‍රමයෙන් දළු ළා වැඩෙන්නක්‌ වන අතර, එකිනෙකා ආදරයෙන් බැඳි තිබෙන බවක්‌ වැටහෙන්නේද බොහෝ කළක්‌ ගතවීමන් පසුවය. එහෙයින් ළාබාල යුවතියක වයස්‌ගත පිරිමියෙකු සමඟ පෙම් සබඳතාවක්‌ ගොඩනගා ගැනීම, ප්‍රබල මානසික ඒකාග්‍රතාවක්‌ ලෙසින් හැඳින්විය හැක. එය සහමුලින්ම එකිනෙකාගේ සිත් හදුනා ගැනීමෙන් ඇතිවන්නකි. එහෙයින් එය සාමාන්‍ය පෙම් සබඳතාවකට වඩා බොහෝ ප්‍රබල බැඳීමකි. 

එසේ වීමට හේතු 

යුවතියක, තමාට වඩා බොහෝ වයසින් වැඩි පිරිමියෙකු සමඟ පෙම් සබඳතාවක්‌ අපේක්‌ෂා කිරීමකි. එහෙයින් එම පුද්ගලයාට තොරතුරුකීම, අදහස්‌ විමසීමක්‌, උපදෙස්‌ ලැබීමක්‌ සේම රැකබලා ගැනීමක්‌ සියුම්ව අපේක්‌ෂා කරයි. එය ක්‍රමයෙන් පෙම් සබඳතාවක්‌ බවට පරිවර්තනය වන්නේ, හැඟීම් අතර සමීපබවක්‌ ඇතිවීමෙනි. 

තරුණයෙකුට වඩා 

යම් යුවතියකට තමාට වඩා බොහෝ වයසින් මුහුකුරා ගිය පිරිමියෙකුගේ ආදරය ලැබීම, සමවයස්‌ තරුණයෙකුගේ ආදරය ලැබීමට වඩා වෙනස්‌ අත්දැකීමක්‌ බවට පත්වේ. සමවයස්‌ තරුණයෙකු සැමවිටම කෙළිලොල්, ඇයට පාලනය කිරීමට හතිදමන, ඇගේ අවශ්‍යතා ඉටුකර නොදෙන, අනව්‍ය විශේෂිත කමකින් යුතුය. නමුත් යුවතියක අන් පිරිමියෙකුගේ ආදරය බිsඳීමේදී, එයට තම පියාගේ ආදරයේ කොටසක්‌ද එක්‌ වීම අවශ්‍යය. එනම් පියාගේ රැකවරණය හා පැසුණු බව එම පිරිමියා තුළින් ලැබිය යුතුය. බොහෝ අවස්‌ථාවලදි, තම පියාගේ ආදරය හා සමීපබව නොවිඳී යුවතියක්‌ ආදරය කිරීමේදී එම හිඩැස පුරවා ගැනීමටද උත්සාහ කරන්නීය. සැමවිටම වයසින් මුහුකුරා ගිය පිරිමියෙකු වෙතින් එම අවශ්‍යතාව ඉටුවේ. මන්ද, එම යුවතිය, තමාට වඩා වයස්‌ගත පිරිමියාගේ පැසුනු තැන්පත් බව, බුද්ධිමත් උපදේශයන්, රැකබලා ගැනීම, දැඩි ආදරණීය බව හා සියුම්ව දරන්න ලෙන්ගතුබවට සිත් බැඳගනී. එවිට ඇය පිරිමියෙකු වෙතින් බලාපොරොත්තුවෙන සියලු ගුණාංග අයත්වීමෙන්, ඇය ඔහුට සමීපව ආදරය කරන්නේ සියලු නොගැලපීම් අමතක කිරීමෙනි. 

පිරිමියාටද? 

එමෙන්ම යම් යුවතියක තමාට වඩා බොහෝ වයස්‌ගත පිරිමියෙකුට ආදරය කිරීමේදී, ඔහුට ද එය නව ජීවයක්‌ සපයන්නකි. මන්ද, ඔහුගේ සිතටද එය හැගෙන්නේ, තමාගේ තරුණවියට ගමන්කිරීමක්‌ ලෙසිනි. එහෙයින් ඔහු බොහෝ ආදරයෙන් ඇයව රැකබලා ගනී. ඇයට අවශ්‍ය සියලු දේ සපයන්නේ, ඇය පිළිබඳව නිබඳවම සොයා බලමිනි. කෑමක්‌ බීමක්‌ ගැන සේම ඇඳුම් පැළඳුම් ගැන පවා ඔහු සියම්ව උනන්දුවේ. ඔහුගේ එම ගුණාංගයන්ට ඇයද දැඩිව ඇළුම්කිරීමට පෙළඹේ. 

නමුත් ළාබාල යුවතියක, තමාට වඩා වයසින් වැඩි පිරිමියෙකුට ආදරය කිරීම ගැටළු රැසකට මුහුණදීමක්‌ වීමට හැක. එයින් එක්‌ ප්‍රබල කරුණක්‌ වන්නේ, තරුණයෙකු මෙන් නොව, වයස්‌ගත පිරිමියෙකුගේ ආදරය ලිංගිකත්වය සමඟින් සිදුවන්නක්‌ වීමය. මන්ද ඔහුට එම අත්දැකීම හා වින්දනය හුරු වූවකි. එහෙයින් එම සබඳතාව, ලිංගිකත්වයද පදනම් වූවක්‌ වීමෙන් එක්‌ පැත්තකින් බැදීම ප්‍රබලවීමක්‌ සේම, අනෙක්‌ පැත්තෙන් එයින් මිදීමට ඇයට නොහැකි වේ. ඇය දැඩිව එම සබඳතාවට ප්‍රියවීමක්‌ද සිදුවේ. 

වරද තේරුම් ගියද? 

එහෙයින්, මෙවැනි සබඳකමක පැටලැවෙන යුවතිය තමා අතින් සිදු වූ වරද තේරුම් ගියද, ඔහුගෙන් ඈත්වීමට නොහැකි වන්නේ, අන් විකල්පයක්‌ද නොවීමෙනි. එයට අමතරව දෙදෙනා දැඩිව බැඳී සිටීමෙන්, ඇයගේ සිතටද ඔහුට සමාන විය හැකි පිරිමියෙකු හමු නොවේ. 

බොහෝ විට එසේ ඇය පෙම් සබඳකමක්‌ ඇතිකර ගන්නා වයස්‌ගත පිරිමියා විවාහකයෙකු වීමද සාමාන්‍ය දෙයකි. එවිට ඇය තවත් අසීරුවට පත්වන්නේ, සමාජමය දෝෂාරෝපණද සමඟිනි. 

එහෙයින් බොහෝ අවස්‌ථාවදී මෙවැනි යුවතියන්ට මුළු ජීවිතයම හුදකලාවීමට හෝ ඔහු සමඟ විවාහවීමට සිදුවේ. ඇය සියල්ලෙන්ම මිදීගොස්‌ අන් විවාහයක්‌ සිදුකර ගත්තද, එම ආදරය තමා පෙම් කළ පැසුනු පුද්ගලයාගේ ආදරයට සමාන නොවීමටද හැකිය. එය ඇගේ මනසට දැඩිව බලපානු ඇත. 

ආදරය කිරීමේ ප්‍රතිඵලයක්‌ ලෙසින්, තමාට වඩා වයස්‌ගත පිරිමියෙකු සමඟ විවාහවීමද යම් යම් ගැටළු ඉස්‌මතුවීමට හැක්‌කකි. උදාහරණයක්‌ ලෙසින් අද වයස අවු. 25 ක යුවතියක්‌ 40 හැවිරිදි පිරිමියෙකු සමඟ පෙම් සබඳකමක්‌ හේතුවෙන් විවාහ වෙද්දි, වර්තමානයේ දෙදෙනාම සිටින්නේ, යෞවනයට අයත් වූවන් ලෙසිනි. පෙනුමක්‌ හා සවියෙන් ඔහු ඇයට බොහෝ ගැළපේ. නමුත් ඇය තමාගේ වයස අවු. 38 ක පමණ සීමාවට එද්දි, ඔහු 53 හැවිරිදිය.

එවිට ඔහු සිටින්නේ මැදිවියේ පිරිමියෙකු බවට පත්ව රෝගීවීම, ශක්‌තිය හීනවීම් හා පෙනුමෙන් වයස්‌ගත වූවෙකු ලෙසිනි. එය ඔවුන් දෙදෙනා අතර ගැටළුවක්‌ ඇතිකළ හැක්‌කේ වයස අවු. 38 යනු, ගැහැනියකගේ ජීවිතයේ උපරිම කායික හැගීම් සහිත යුගය වීමෙනි. එයට අමතරව වයස්‌ගත පෙනුම මත ඒ වනවිටදි, ඔහු ඇයට ලැඡ්ජාවක්‌ හෝ නොගැලපීමක්‌ පෙන්නුම් කිරීමට හැක. මෙහිදී ඔවුන් දෙදෙනා කායික හා මානසික වශයෙන් දුරස්‌වීමකට ලක්‌වීම, ඔවුන්ගේ විවාහයේ බැඳීමද දුර්වල කරන්නකි. දරුවන්ගේ පැත්තෙන් බැලුවිටදීද, ඔවුන්ටද තම පියාගේ වයස්‌ගත ස්‌වභාවය මානසික ගැටළුවක්‌ යෑයි පැවසීමටද හැක. 

පසුව තේරුම් ගැනීම 

නමුත් මෙම වෙනස්‌කම් ඇය අත්දකින්නේ බොහෝ කළකට පසුවය. එතෙක්‌ තමාට වඩාත්ම ආදරය කළ සුන්දර මිනිසා ලෙසින ඔහුව දකී. එහෙයින් සෑම යුවතියකම පාහේ පෙම් සබඳතා අරඹද්දි, එහි අනාගතය හා පැවැත්ම පිළිබඳව සිත යොමු කළ යුතුවේ. මන්ද, මඟ වැරදි යැම් යුවතියකට නිවැරදි කර ගැනීම බොහෝ අසීරුය. සෑම විටම සමාජය බලා සිටින්නේ, යුවතියකගේ සබඳතා සම්බන්ධයෙන් දොස්‌ පැවරීමට හා අවමං කිරීමටය. 

නමුත් තමාගේ ජීවිතයේ වූ විවිධ හිඩැස්‌ පුරවා ගැනීම හා ඌණතා මත ආදරය යහතින් විඳීමට හැකි සම්පත් කෙරෙහි ඉඩ ඇල්ලීම යුවතියකගේ සිතේ ස්‌වභාවය වීමට හැක. එය ඇගේ පැත්තෙන් යම් සාධාරණයක්‌ තිබුණද, පසුකාලීනව ඇගේ ජීවිතය පැත්තෙන් වරදක්‌ වීමට හැක. 

ප්‍රදීප් කුමාර බාලසූරිය

1 comment:

  1. මේ මට හිතෙන දෙයක් හරිද මන්ද ...අවුරුදු 53 දිත් සමහර පිරිමි හොඳ ජව සම්පන්න පෙනුමකින් යුක්ත වෙනව , තම්න්ගේ ශරීර සෞඛ්‍ය ගැන වඩාත් සැලකිලිමත්වෙන ගොඩ දෙනෙකුට එහෙම ඉන්න පුලුවන් , වයසින් බාල බිරිඳක් කියන්නෙ පිරිමියෙක් තමන්ගෙ ශරීර සෞඛ්‍ය ගැන වැඩියෙන් හිතන්න යොමු කරවන්නක් ඒ නිසා අවුරුදු 15 ක වෙනස නම් ගැටලුවක් නැතිවෙයි , නමුත් අවුරුදු 20 ක් හෝ ඊට වඩා පරතරයක් නම් ගැටලුවක් ඇතිවෙයි

    ReplyDelete

Total Pageviews

Advertise