Saturday, April 16, 2011

දවස පටන් ගන්න ආයුර්වේද උපදෙස්‌

මෙලොව ජනිත වන සෑම පුද්ගලයෙකුම ජීවිත කාලය තුලදී විවිධ ලෙඩ රෝග වලට ගොදුරු වීම ස්‌වභාවිකය. නමුත් නිතර නිතර අසනීපවීමට කිසිවෙකු කැමති නොවනු ඇත. රෝගවලට ගොදුරු නොවී නිරෝගී ජිවිතයක්‌ ගත කිරීමට හැකි නම් එය ඉතා භාග්‍ය සම්පන්නය.


එබැවින් රෝග වැළදීම ස්‌වභාවික වුව ද නිරෝගිකම රැකගැනීම සඳහා අනුගමනය කළ යුතු ක්‍රම වේදයන් මොනවාද යන්න පිළිබඳව අවබෝධයක්‌ ලබාගෙන ඒ අනුව තමන්ගේ දින චරියාව සකස්‌ කර ගත හැකි නම් බොහෝ දුරට ලෙඩ දුක්‌වලින් මිදී නිරෝගී ජීවිතයක්‌ ගත කළ හැක.


නිරෝගී ජීවිතයකට මග පාදා දෙන අගනා කරුණු රාශියක්‌ ආයුර්වේදය පෙන්වා දී ඇත. මෙහි සඳහන් වන එම අගනා කරුණු පිළිබඳව ඔබ ද සැලකිලිමත් වන්නේ නම් නිරෝගිකම රැක ගැනීමට එය පිටිවහලක්‌ වනු ඇත. දෛනිකව මෙම නිවැරදි පිළිවෙත් හුරු පුරුදු කර ගැනීමට ඔබත් උත්සාහ කර බලන්න.

දිනපතාම උදෑසන අවදි වූ විගස පිරිසිදු වතුර වීදුරුවක්‌ පානය කරන්න තේ පානය කළ යුත්තේ ඊට පසුවය. උදෑසන ආහාරය සඳහා වඩා ගුණදායක වන්නේ කඩල, මුං ඇට, කව්පි වැනි ධාන්‍ය වර්ගයකි. එසේ නොමැති නම් බත් ආහාරයට ගැනීම සුදුසුයි. හැකි සෑම අවස්‌ථාවකදීම උදෑසන කොළ කැඳ පිළියෙළ කර පානය කිරීමට පුරුදු වන්න.


එමෙන්ම අප විශේෂයෙන්ම සැලකිලිමත් විය යුතු දෙයක්‌ ඇත. එනම් පිරිසිදු වාතය සිරුරට ලබා දිය යු=තුමය. සෑම කෙනෙක්‌ ම පාහේ කාර්යය බහුල ජීවිත ගත කරන බැවින් හුස්‌ම ගැනීමද සිදුවන්නේ ඉබේටමය. හුස්‌ම ගන්නවා නොව ගැනෙනවාය. නමුත් පපුව පිරෙන්න ආශ්වාස කිරීම නිවැරදි ක්‍රමයයි. ඒ අයුරින් ඉතා හොඳින් පෙනහලු පිරෙන්න හොඳින් ආශ්වාස කිරීමට පුරුදු වන්නේ නම් උදරය නෙරා ඒම ද අඩුවේ. නිරෝගී ජීවිතයකට මනාලෙස ආශ්වාස කිරීම ද අත්‍යාවශ්‍ය කාරණයක්‌ බව මෙයින් පැහැදිලි වේ.


එසේම ආහාර දිරවීමේ පද්ධතිය පිළිබඳව ද සැලකිලිමත් විය යුතුයි. අප ගන්නා ආහාර නොදිරවන්නේ නම් එය රෝග රාශියකට හේතුවේ. මිනිසුන් ජීවත් වන්නේ ආහාරපාන ගැනීමෙනි. එබැවින් අප ගන්නා ආහාර ඉතා හොඳින් දිරවීම සිදුවිය යුතුය. ආහාර නොදිරවීම නිසා කැල්සියම් පදාර්ථ, තෙල්, සීනි යනාදිය ලේ වල (රුධිරය තුළ) තැන්පත් වේ.


එසේ වීමෙන් දියවැඩියාව, රුධිර පීඩනය, කොලෙස්‌ටරෝල් අධික වීම ආදී රෝග ගණනාවකම ගොදුරු වීමට සිදුවේ. අද සමාජය තුළ බහුලව කතා කරන අම්ල පිත්ත රෝගය (ගෑස්‌ට්‍රයිටි්‍රස්‌) තත්ත්වය නිසා ආහාර දිරවන්නේ නැත. එබැවින් මෙම රෝගී තත්ත්වය පිළිබඳව සැලකිලිමත් විය යුතුය. ආහාර ජීර්ණ පද්ධතියේ අක්‍රමිකතාවයන් තිබේ නම් ප්‍රතිකාර බලාගෙන වෛද්‍ය උපදෙස්‌ අනුව එම තත්ත්වය සුව කරගත යුතුමය. 


වෙලාවට ආහාර ගැනීම ද ඉතා වැදගත් වේ


එමෙන්ම මත් වතුර පානය ද සුදුසු නොවේ. නිරෝගී ජීවිතයක්‌ ගත කිරීමට නම් කුමන වර්ගයේ හෝ මත් ද්‍රව්‍ය භාවිතයෙන් වැළකී සිටිය යුතුය. රාත්‍රී ආහාරය පමා නොවී නින්දට යැමට පැය 3 කට පමණ පෙර ගත යුතුවේ.


ඇස්‌ වලට, සන්ධි වලට, හිසකෙස්‌ වලට, බුද්ධි වර්ධනයට මේ ආදී වශයෙන් සිරුරට ගුණදායක පෝෂණ ගුණයෙන් සපිරි ආහාර ගැනීමටද දැනුවත් විය යුතුය. බත් ආහාරයට ගැනීමේ දී එළවළු, පලා වර්ග වැඩිපුර එකතු කර ගැනීම නිරෝගීකමට තවත් හේතුවකි. මැල්ලූම් සාදා ගැනීමේදී කුප්පමේනියා, පොල්පලා, ගිරාපලා, තණපලා, කරල්සැබෝ යනාදිය එකතු කර කලවම් මැල්ලූමක්‌ පිළියෙළ කර ආහාරයට ගන්නේ නම් දරුවන්ට ද මෙවැනි මැල්ලූමක්‌ කෑමට පුරුදු කරන්නේ නම් යහපත් සෞඛ්‍ය තත්ත්වයක්‌ ඇති වීමට එය ද ඉතා වැදගත් වේ. මෙම කොළ වර්ග පෝච්චිවල වුවද වගා කර ගැනීමට පුළුවන්.


සම්බෝල වශයෙන් පිළියෙළ කරගත හැකි තෙබුකොළ, කැරට්‌ ගොටුකොළ යනාදිය අමුවෙන්ම ආහාරයට ගැනීම යෝග්‍ය වේ. අද බොහෝ අය මුත්‍රා විරේක කිරීමක්‌ පිළිබඳව උනන්දුවක්‌ නොමැත. නමුත් මුත්‍ර විරේකයක්‌ අවශ්‍යයි. රණවරා මල්, බෙලි මල්, ඉරමුසු, කරල් සැබෝ යනාදිය සතියකට වරක්‌ හෝ තම්බා බීමට පුරුදු වීම ද ශාරීරික සුවතාවයට හිත කරවේ.


පලතුරු වර්ග ද දිනපතා ආහාරයට ගැනීම අවශ්‍ය වේ. එය ආහාර දිරවීම ද පහසු කරවයි. විශේෂයෙන්ම එළවළු, පලා වර්ග, ධාන්‍ය වර්ග, පලතුරු, කිරි යනාදියෙන් සිරුරට අවශ්‍ය පෝෂණය ලැබෙන නිසා අවිහිංසක සතුන්ගේ මස්‌ අනුභවයෙන් වැළකී නිර්මාංශ විය හැකි නම් ශාරීරික මෙන්ම මානසික නිරෝගීතාවය ද රැක ගත හැක. උදය වරුවේ ස්‌නානය කළ හැකි නම් එය ද සිරුරට හිතකරයි.


මේ සමගම දිනපතා තමන්ගේ නින්ද ගැන ද සැලකිලිමත් විය යුතුමය. වැඩිහිටි අයට දිනකට පැය 7 ක පමණ නින්දක්‌ අවශ්‍ය වේ.


දහවල් කාලයේ නිදා ගැනීම ද සුදුසු නැත 


රෝගී අවස්‌ථාවක දී හෝ රාත්‍රී නිදි වර්ජිතව සිටීමට සිදු වූ අවස්‌ථාවක දී හැර දහවල් නින්ද සුදුසු නැත.


ඉහත සඳහන් ආහාර පාන නින්ද සහ නිවැරදි පිළිවෙත්වලට අමතරව මානසික නිරෝගීතාවය ද අත්‍යාවශ්‍යවේ. සැහැල්ලූ වූ ප්‍රීතිමත් වූ ප්‍රබෝධමත් වූ යහපත් මානසික තත්ත්වයක්‌ නොමැති වූ විට ද විවිධ ශාරීරික රෝගාබාධහට ගැනීමට ඉඩ ඇත. එබැවින් කොපමණ පෝෂ්‍යදායක ආහාර පාන සිරුරට ලබා දුන්නත් මනස සන්සුන් වූ යහපත් තත්ත්වයක නොමැති නම් අසහනකාරී මානසික තත්ත්වයකින් පසුවන්නේ නම් වෛරයෙන් ද්වේශයෙන් කෝපයෙන් අන් අය කෙරෙහි ඊර්ෂ්‍යාවෙන් පසු වන්නේ නම් ඔහු හෝ ඇය රෝගියෙකි.


එසේම ශාරීරික සුවතාවයට මෙන්ම මානසික නිරෝගීතාවයටද මත් ද්‍රව්‍ය අහිතකරයි. ප්‍රකෘති සිහිය විකල් කරවන මත්ද්‍රව්‍ය භාවිතය මානසික සුවයට බාධාවකි. එබැවින් ධර්මානුකූලව ජීවත් වීමට පුරුදු වීමෙන් අහිතකර බලපෑම් ඇති කරන අයහපත් දේවල් වලින් ඈත් වී යහපත් මානසිකත්වයක්‌ ගොඩනගා ගත හැක. භාවනා කිරීමට ද පුරුදු වීමද මානසික සුවයකි. එවිට ඊර්ෂ්‍යාව, රෛවය, කෝපය වැනි පහත් දේවල් වලට සිත යොමු නොවනු ඇත. ගීතය කවිය වැනි සෞන්දර්යාත්මක දේවල් රස විඳීමට ද හුරුවිය යුතුය. එවිට සතුටින් පිරි වින්දනීය මානසිකත්වයක්‌ ගොඩ නැගෙනු ඇත.


ශ්‍රී ලංකාව වර්තමානයේ රසකාරක වැඩිපුර භාවිත කරන රටකි. නමුත් හැකි තරම් නිවැරදි ව ස්‌වභාවික ආහාර රටාවකට පුරුදු වීමෙන් ද ස්‌වභාදහමට සමීපව ජීවත්වීමෙන් ද අවබෝධයකින් යුතුව නිතර සතුටින් සැහැල්ලූ මානසිකත්වයකින් කාලය ගත කිරීමෙන් ද භාග්‍ය සම්පන්න වූ නිරෝගී ජීවිතයකට හිමිකම් කිව හැක.

කොළඹ විශ්වවිද්‍යාලයේ 
හිටපු කථිකාචාර්ය 
පාරම්පරික යුනානී වෛද්‍ය ඒ.ආර්.එම් අෂ්රොප් 

සාකච්ඡා කළා 
සුරම්‍යා අතුකෝරළ

1 comment:

Total Pageviews

Advertise