Saturday, April 9, 2011

තෙල් මිල හා ලිබියානු අර්බුදය

කුත් සඳුදා වන විට ලෝක වෙළෙඳපොළේ තෙල් බැරලයක මිල ඩොලර් 108 ක්‌ පමණ විය. මාස 30 කට පමණ පසු තෙල් බැරලය ඉහළ ගිය උපරිම මිල මෙය විය. ලෝක තෙල් සම්පත ඉතිරිව ඇත්තේ තව වසර 40 කට පමණකැයි ගණන් බලා ඇත. ලෝකය වේගයෙන් ඉදිරියට යද්දී තෙල්වලට ඇති ඉල්ලුම ද ඉහළ යයි. එහෙත් මේ අවස්‌ථාවේ තෙල් මිල ඉහළ ගොස්‌ ඇත්තේ ලිබියාවේ ගඩාෆි පාලනයට එරෙහිව පැන නැගී ඇති කැරැල්ල නිසාය. නේටෝ සංවිධානයත් ගඩාෆිගේ හමුදාවන්ට ගුවන් ප්‍රහාර එල්ල කිරීම නිසා තෙල් මිල ඉහළ යන්නේ පුදුමාකාර වේගයෙනි. අරාබි ලෝකයේ දිගු කාලයක්‌ බලයේ සිටි නායකයන්ට එරෙහිව කැරැලිකාරීත්වය මුලින්ම පැන නැඟුණේ ටියුනීසියාවෙනි. බෙන් අලි පන්නා දැමීමෙන් පසු ඊජිප්තු වැසියෝ සති ගණන් කයිරෝ නුවර තහීර් චතුරශ්‍රයේ උද්ඝෝෂණය කර හොස්‌නි මුබාරක්‌ව පන්නා දැමූහ. ඊජිප්තුවෙන් පසුව ලිබියාවට ද ඉරානයට ද මේ උද්ඝෝෂණ රැල්ල පැතිර ගියේය. කෙසේ නමුත් ඉරානයේ උද්ඝෝෂණ වැඩි කලක්‌ පැවැතියේ නම් නැත. ඇමරිකාව නම් ඉරානයේ උද්ඝෝෂණකරුවන්ට කෙළින්ම සහාය පළ කළ ද එම විරෝධතා දින කිහිපයකින්ම නතර විය. කෙසේ වෙතත් තෙල් බැරලය ඩොලර් 108 කට වැඩිවූ පසු ටෙහෙරාන් නුවරදී මාධ්‍ය ඇමතූ ඉරාන ජනාධිපති මහමුද් අහමදිනිජාඩ් මහතා ප්‍රකාශ කර සිටියේ තෙල් බැරලය ඩොලර් 150 දක්‌වා ඉහළ යා හැකි බවයි. ඔපෙක්‌ රටවල් අතරින් දෙවැනියට වැඩියෙන්ම තෙල් අපනයනය කරන්නේ ඉරානය වන අතර ඔවුන් දිනකට තෙල් බැරල් මිලියන 4.2 ක්‌ වෙළෙඳපළට නිකුත් කරයි.

වයස 27 දී ලිබියාවේ පාලකයා වූ ගඩාෆිට අද දරුණු මහජන කැරැල්ලකට මුහුණදීමට සිදුව ඇත. 1981 සිට ඊජිප්තුවේ පාලකයාව සිටි හොස්‌නි මුබාරක්‌ ජනපති ධුරයෙන් අස්‌වූ දිනට පසුදා සිට ලිබියානු ජනතාව විශේෂයෙන් බෙන්නාසිහි වැසියෝ සිය පාලකයාට එරෙහිව උද්ඝෝෂණ ආරම්භ කළහ. බටහිර ලෝකය උඩින් ගඩාෆි සමග යම් සුහදතාවක්‌ ප්‍රකාශ කර තිබුණ ද යටි හිතින් ගඩාෆිට කැමැත්තක්‌ දැක්‌වූයේ නැත. එම නිසාම ලිබියානු නායකයාට කැරැල්ලක්‌ පැන නැඟුණු වහාම ඒ කැරැලිකරුවන්ට සහාය පළ කරන්නට ඇමරිකාව ප්‍රමුඛ බටහිර ලෝකය ඉදිරිපත් විය. මුලින්ම එක්‌සත් ජාතීන්ගේ සංවිධානය ලිබියානු ගුවන් කලාපය තහනම් ගුවන් කලාපයක්‌ ලෙස ප්‍රකාශයට පත් කළේ ගඩාෆිගේ ගුවන් හමුදාවන් විසින් කැරැලිකරුවන්ට එල්ල කරන ගුවන් ප්‍රහාර නවත්වන්නටය. එහෙත් දිගින් දිගටම ගුවන් ප්‍රහාර එල්ල වන්නට වූ නිසා ගඩාෆි පාලනයට එරෙහිව "Operation Odyssey Dawn" ආරම්භ විය.
මෙම මෙහෙයුම මාර්තු 19 වැනිදා සිට 31 වැනිදා තෙක්‌ ඇමරිකානු හමුදාවේ අප්‍රිකානු කලාපයේ අණදෙන නිලධාරි ජෙනරාල් කාර්මර් හැව්ගේ නායකත්වයෙන් ක්‍රියාත්මක විය. ප්‍රංශ ගුවන් හමුදාව ද ලිබියානු ඉලක්‌ක වෙත ප්‍රහාර එල්ල කළ අතර ඇමරිකානු යුද නැව්වලින් ටොමාහෝර්ක්‌ මිසයිල ප්‍රහාර බෙන්නාසි නගරය අසල සටන් වදිමින් සිටි ගඩාෆිගේ හමුදාවන් වෙත එල්ල විය. එමෙන්ම ටි්‍රපොලි නුවරටත් ප්‍රහාර එල්ල විය. මේ මෙහෙයුම ආරම්භ වූ දිනයේම ලිබියානු ඉලක්‌ක වෙත ටොමාහෝර්ක්‌ මිසයිල ප්‍රහාර 210 ක්‌ එල්ලවූ බව ජාත්‍යන්තර මාධ්‍ය ප්‍රකාශ කර තිබිණි.

කෙසේ නමුත් මාර්තු 31 වැනිදා වන විට ඔබාමා පාලනය මේ මෙහෙයුමේ සම්පූර්ණ නායකත්වය නේටෝව වෙත පවරා අත පිසදා ගත්තේය. ඇත්තෙන්ම දැන් ඇමරිකානු හමුදා ලිබියාවට ප්‍රහාර එල්ල කරන්නේ නැත. ලිබියානු කැරැලිකරුවන්ට ආයුධ සැපයීම ගැන පමණක්‌ සාකච්ඡා සිදුවන බව විදෙස්‌ මාධ්‍ය මගින් වාර්තා කර තිබිණි.

හදිසියේම ඇමරිකාව මේ මෙහෙයුමෙන් ඉවත් වූයේ මන්ද? ඒ ගැන ප්‍රශ්නාර්ථයක්‌ පවතී. කෙසේ නමුත් ඉරාකයේදී ඇමරිකානු හමුදාවට එරෙහි සටන් කළ අල්කයිඩා කැරැලිකරුවෝ දැන් ලිබියාවේ ගඩාෆි පාලනයට එරෙහිව සටන් වැදී සිටිති. ගඩාෆිගේ පාලනයට එරෙහිව සටන් වදින කැරැලි නායකයකු වන අබ්ඩෙල් හකීම් අල් හෂ්දි ප්‍රකාශ කර ඇත්තේ තමා ඇµaගනිස්‌ථානයේදී බටහිර හමුදාවන්ට එරෙහිව සටන් වැදුණු පුද්ගලයකු බවත් තමා යටතේ සිටින කැරැලිකරුවන් අතරින් 25 දෙනකු පමණ ඉරාකයේදී ඇමරිකානු හමුදාවන්ට එරෙහිව සටන් කළ අල්කයිඩා සාමාජිකයන් පිරිසක්‌ වන බවයි. කැරැලි නායක අල් හසිද් 2002 දී ඇµaගනිස්‌ථානයේ සිට පාකිස්‌තානයේ පෙෂාවර් නුවර වෙත පැමිණි අවස්‌ථාවක අත්අඩංගුවට පත්වූ අතර එහිදී ඇමරිකානු හමුදා වෙත භාරදෙන ලදී.

ඇමරිකානු හමුදා නිලධාරීන් විසින් මොහුව ලිබියා බලධාරීන්ට භාරදෙන අතර පසුව 2008 දී සිරභාරයෙන් නිදහස්‌ වේ. කෙසේ නමුත් දැන් බටහිර ලෝකය ඇµaගනිස්‌තානයේදී එකිනෙකාට එරෙහිව වෙඩි තබාගන්නා අල් කයිඩා සාමාජිකයන් සමග ලිබියාවේ බෙන්නාසිහිදී එකට හිඳ ගඩාෆි එළවීමට යුද සැලැසුම් සකසන්නේද? කෙසේ නමුත් ලිබියානු කැරැලිකරුවන් අල්කයිඩා සාමාජිකයන් විසින් මෙහෙයවීම ඇමරිකානු හමුදා මෙන්ම සී.අයි.ඒ. සංවිධානය ද බලවත් උභතෝකෝටියකට පත් කරන්නක්‌ විය. එම නිසාම ඇමරිකානු හමුදා ලිබියානු සටනින් අත පිසදාගෙන ඇත.

බටහිර ලෝකයේ ගුවන් ප්‍රහාර මෙන්ම අනෙකුත් සහයෝගය ලැබුණ ද මෙතෙක්‌ ගඩාෆි පාලනය පෙරළා දැමීමට කැරැලිකරුවන්ට නොහැකිවී ඇත්තේ කවර හේතුවක්‌ නිසාද? ලිබියානු පාලකයාට විශාල සහායක්‌ ලබාදෙන්නේ ඔහුගේ ගෝත්‍රයේ සාමාජිකයන් පිරිසයි. මේ ගෝත්‍රවාදය සෑමවිටම ගඩාෆිගේ ජයග්‍රහණයට මෙන්ම දීර්ඝකාලීන රාජ්‍ය පාලනයට ද සහාය විය. "Why Gaddafi
has Survired the Rebellion" මැයෙන් අප්‍රේල් 05 වැනිදා ටයිම් සඟරාවේ පළවී ඇති ලිපිය මගින්ද ප්‍රකාශ කර ඇත්තේ ගෝත්‍රවාදී දේශපාලනය ගඩාෆි තවදුරටත් බලයේ රැඳී සිටීමට හේතුවක්‌ වී ඇති බවයි. බටහිර ලෝකය මේ ගැන තැකීමක්‌ කළේ නැත. ගඩාෆිගේ ගෝත්‍රය වන්නේ "හඩාඩ්ෆා" ය. ඔහු සිය පාලනය පවත්වා ගැනීම සඳහා වර්ෆලා හා මහරා ගෝත්‍ර සමගත් සන්ධාන ඇති කර ගත්තේය. ගඩාෆි වෙනුවෙන් සිය ගෝත්‍රයේ පුද්ගලයා මියයන්නට හෝ සූදානම්ය.

ලිබියාවේ මේ ගැටුම ඉදිරියටත් ඇදී යනු ඇත. අපට ඇති එකම ප්‍රශ්නය වන්නේ තෙල් මිල ඉහළ යැමය. මේ අර්බුදය තවත් දික්‌ වුවහොත් ඉරාන ජනපති කියන ආකාරයට තෙල් බැරලය ඩොලර් 150 දක්‌වා ඉහළ යැම වැළැක්‌විය නොහැකි වන්නේය. එවිට ශ්‍රී ලාංකිකයන්ට ද හුස්‌ම හිරවන ආකාරයටම පටි තද කරගන්නට සිදුවනු ඇත.

චතුර පමුණුව

No comments:

Post a Comment

Total Pageviews

Advertise