Thursday, February 17, 2011

කායික සම්බන්ධතාවලදී ඉතා වැදගත් යෝනි මාර්ගය

යෝනි මාර්ගය ලෙස හඳුන්වන්නේ කාන්තාවගේ බාහිර ලිංගික අවයව සහ අභ්‍යන්තර ලිංගික අවයව සම්බන්ධ කරනා කුහරයක්‌ වැනි වූ අවයවයකට වේ. මෙය වෛද්‍ය විද්‍යාව තුළ "වැජයිනා" ලෙස හඳුන්වයි.

මෙම අවයවය පරිණත වන්නේ දියණිය මල්වරවීමත් සමඟයි. යෝනි මාර්ගය කාන්තාවගේ ලිංගික සංසර්ගයට ඉතා වැදගත් අවයවයක්‌ ලෙස හඳුන්වා දිය හැකියි.

යෝනි මාර්ගයේ බාහිර විවරය කන්‍යා පටලය, කන්‍යා පටලයේ වටේට පිහිටා ඇති පටකවලින් යම්කිසි ප්‍රමාණයකට ආවරණය වී තිබේ.

යෝනි මාර්ගයේ උඩ කොටස ගැබ්ගෙල සහ ගර්භාෂය සමග සම්බන්ධ වී ඇත. 


යෝනි මාර්ගය ලෙස හඳුන්වන අවයවය හොඳින් විස්‌තාරනය විය හැකි අවයවයක්‌ වන අතර ලිංගික සංසර්ගයේදී මෙහි දිග සහ පළල අවශ්‍ය පරිදි වෙනස්‌ වේ. යෝනි මාර්ගයේ ඇති වන විවිධ ස්‍රාවයන් ලිංගික සංසර්ගය සඳහා වැදගත් වේ. එමෙන්ම ඔසප් චක්‍රයේ විවිධ හෝමෝන සාන්ද්‍රණ මත යෝනි මාර්ගයේ ඇතිවන ස්‍රාවයන්ගේ සහ එහි ගුණාත්මක භාවයේ වෙනසක්‌ ඇතිවේ. සමහර කාන්තාවන්ට මෙය මානසික වඳයක්‌ වුවත් බොහෝ කාන්තාවන්ට මෙම වෙනස මගින් ඔසප් චක්‍ර පිළිබඳව අවබෝධයක්‌ ලබා ගත හැකි වේ.

කාන්තාවගේ ලිංගික සංසර්ගයේ දී සම්පූර්ණ තෘප්තිය යෝනි මාර්ගය විවරයට ඉදිරියෙන් ඇති "ක්‌ලිටෝරිස්‌" " නැමති අවයවය සමඟ බැඳි ඇත.

ඊට අමතරව යෝනි මාර්ගයේ ඉදිරිපස බිත්තිය මගින් යම්තරමක්‌ දුරට ලිංගික සංසර්ගයේදී තෘප්තියක්‌ ලැබීමට කාන්තාවට සිදුවේ.

මෙයට අමතරව ප්‍රජනන ක්‍රියාවලියේදී ගර්භාෂය තුළ වැඩෙන දරුවා බාහිර ලෝකයට ගෙනයාමේදී ඉතා වැදගත් අවයවය ලෙස යෝනි මාර්ගය හඳුන්වාදිය හැකියි. මෙම යෝනි මාර්ගයේ ඉදිරිපස බිත්තිය මත ගර්භාෂය පිහිටා ඇති අතර පසුපස බිත්තිය මත ගුද මාර්ගය පිහිටා ඇත. යෝනි මාර්ගයේ මාංශපේශි සහ පටකවල දුර්වලතා ඇති වනවිට මුත්‍රාශය ගුද මාර්ගය තුළට නෙරායාමක්‌ හෝ ගුද මාර්ගය යෝනි මාර්ගයට නෙරායාමක්‌ වැනි රෝග තත්ත්වයක්‌ ඇතිවෙන්නට පුළුවනි. ගර්භාෂය යෝනි මාර්ගයට ඉහළින් පිහිටා ඇති හෙයින් යෝනි මාර්ගයේ පටක දුර්වල වනවිට ගර්භාෂය යෝනි මාර්ගයට පහත්වීම හෙවත් අපි සාමාන්‍යයෙන් හඳුන්වන ගර්භාෂය පහත්වීමේ රෝග තත්ත්වය ඇති වේ.

ඒත් එක්‌කම දරුවෙකු මෙලොවට බිහිවනවිට මෙම යෝනි මාර්ගය ඉතාමත් විශාලවීමක්‌ වේ. මෙය ස්‌වභාවික ක්‍රියාවලියකි. මේ සඳහා අවශ්‍ය හෝමෝන පසුබිම මවගේ ගර්භනි කාලය තුළ ක්‍රමානුකූලව සිදු වේ. යෝනිමාර්ගය කෙතරම් පළල් වෙනවාද කිවහොත් සෙන්ටිමීටර් 10 ක්‌ පමණ හිසක විශ්කම්භයක්‌ ඇති ළදරුවෙකුට මෙලොවින් බිහිවීම සඳහා ප්‍රමාණවත් වන පරිදි මෙය පළල් වේ. මෙහිදී යෝනි මාර්ගයට කිසිදු හානියක්‌ නොවීම තවත් විශේෂත්වයකි.

යෝනි මාර්ගයේ මාංශපේශිවල තානය රදා පවතින්නේ යෝනි මාර්ගයේ පටකවලට ලබාදෙන ව්‍යායාම මතය. මේ නිසා යෝනි මාර්ගයේ පටක සහ බිත්තිවල දුර්වලතා ඇති වූ විට මාංශපේශි ශක්‌තිමත් කිරීමට වෙනම ව්‍යායාම ක්‍රමයන් වෛද්‍යවරුන් විසින් කාන්තාවන්ට හඳුන්වා දේ. මෙවැනි ව්‍යායාම මගින් යෝනි මාර්ගය අවට ඇති පටක ආරක්‌ෂා කර ගැනීමට හැකිවේ.

ව්‍යායාම කිරීම මගින් යෝනි මාර්ගය තුළට ගර්භාෂය පහත්වීම හෝ මුත්‍රාශය පහත්වීම යම්තාක්‌ දුරකට මඟ හරවා ගන්නට පුළුවනි.

ලිංගික ක්‍රියාවේ යෙදෙනවිට යෝනි මාර්ගයේ තිබෙනා විවිධ ග්‍රන්ථි මගින් යෝනි මාර්ගයට ස්‍රවයන් ස්‍රාවය වේ. කන්‍යාපටලය පිටතින් ඇති පටක වල තිබෙන තොල්වැනි පටක දෙකේ තිබෙනා බාතෝලින් ග්‍රන්ථි මගින් යෝනි මාර්ගය තුළට සහ මතුපිටට ඉතා විශාල ප්‍රමාණයෙන් ස්‍රාවයන් පිට වීමක්‌ සිදුවේ. මෙම ක්‍රියාවලිය ලිංගික උත්තේජනයකදී කාන්තාවන්ගේ සිදුවේ.

යෝනි මාර්ගයේ පිලිකා ඉතා දුර්ලභවේ. මෙය බොහෝවිට වයස්‌ ගතවීමත් සමඟ ඇතිවේ. ඊට වඩා ප්‍රජනන පද්ධතියේ අනෙක්‌ අවයවවල පිළිකා බහුල වේ. යෝනි මාර්ගයේ පටක දුර්වල වීමක්‌ හෝ පටකවල තිබෙනා හෝමෝන ප්‍රමාණය අඩුවීමක්‌ ආර්ථවහරණය වීමත් සමග කාන්තාව තුළ ඇති වේ. එවිට කාන්තාවගේ යෝනි මාර්ගයේ තිබෙනා සම මත බැක්‌ටීරියා සහ දිලීර වර්ග ක්‍රියා කරයි. මෙවන් අවස්‌ථාවක ලිංගික සංසර්ගය අපහසුවන අතර වේදනාවක්‌ ගෙන දේ. බොහෝ විට දුඟද හමන ස්‍රාවයන් පිටවීමක්‌ ද වේ.

මෙයට අමතරව කාන්තාවගේa ස්‌ථුලතාවය වැඩි නම් දරු ගැබක්‌ පිහිටා තිබේනම් විවිධ ඖෂධ ලබා ගන්නේ නම් කාන්තාවගේ යෝනි මාර්ගයේ ආම්ලික සහ භාෂ්මික තාවයේ වෙනස මගින් දිලීර වැඩිවශයෙන් වර්ධනය වීමක්‌ දැක ගන්න පුළුවනි. මෙවැනි අවස්‌ථාවලදී කාන්තාවට සාමාජිය සහ දෛනික කටයුතුවලට බාධා පවා ඇතිවේ.

එවිට විවිධ ආසාධනයන් බහුල වන අතර ඉන් බහුලතම ආසාධනය වන්නේ "කැන්ඩිඩා" රෝගයයි. මෙයට සුළු ඖෂධ ගැනීමක්‌ කළ හැකි අතර තමාට දියවැඩියාව තිබේදැයි සැකහැර දැන ගැනීමත් ව්‍යායාම වල නිරත වීමත් සහ දිලීර නාශක ඖෂධ ලබා ගැනීමත් ප්‍රථිකාර වේ.


ප්‍රසව සහ නාරි රෝග විශේෂඥ
වෛද්‍ය නලින්ද රොද්‍රිගු

සාකච්ඡා කළා
හරින්දී ලියනගේ

No comments:

Post a Comment

Total Pageviews

Advertise