"සාපරාධී බලහත්කාරය", "අඩන්තේට්‌ටම් කිරීම" ආදී වචන අප පුවත්පත් වාර්තාකරණයේ දී මෙන් ම රූපවාහිනී සහ ගුවන් විදුලි ප්‍රවෘත්ති නිවේදනයන්හිදීද නිරන්තරයෙන් අසා ඇත. එහෙත් ඒ වචනවල සැබෑ අරුත මෙන්ම, එම ක්‍රියාවන්හි නෛතික ප්‍රතිඵලයන් මොනවාදැයි බොහෝ දෙනෙක් නොදනිති.
ඉහත නිර්වචනයන් දෙවර්ගයම අප රටේ ස්‌ථාපිත දණ්‌ඩ නීති සංග්‍රහයේ සඳහන් වේ. සාපරාධී බලහත්කාරය සහ අඩන්තේට්‌ටම් කිරීම සම්බන්ධයෙන් දණ්‌ඩ නීති සංග්‍රහයේ ඇති වගන්තීන් කාන්තාවන්ට පමණක් සීමා වූ ඒවා නොවේ. නමුත් බහුල ලෙස මෙම වරදවලින් පීඩා වට ලක්‌වන්නේ කාන්තාවෝ ය.
"අඩන්තේට්‌ටම් කිරීම" යනු යම් කාන්තාවක් වෙත සාපරාධී බලහත්කාරය පාවිච්චි කිරීම පිළිබඳ බියක් ඇය තුළ ඇති කිරිමේ අදහසින් හෝ, බියක් ඇති කළ හැකි යෑයි සිතිය හැකි ක්‍රියා කලාපයක් මාර්ගයෙන් යම් ක්‍රියාවක් කිරීමයි.
උදාහරණයක් ලෙස A විසින් B නමැති කාන්තාව වෙත මිට මොළවයි. මෙහිදි ඊ නැමැති කාන්තාවට පහරදීමක් ආසන්න යෑයි විශ්වාස කෙරේ නම් හෝ, පහරදීමක් විමට ඉඩ ඇති බව අදහස් වේ නම්, එවිට A විසින් B නැමති කාන්තාවට අඩන්තේට්‌ටමක් කළා සේ සැළකේ.
ඒ අනුව යම් තැනැත්තෙක් තම අංග වික්‌ෂේපන හෝ සූදානම්ව තමා ඉදිරියේ සිටින තැනැත්තෙකුට තමා සාපරාධී බලහත්කාරය පායි නම් එවිට තමා විසින් "අඩන්තේට්‌ටමක්" සිදු කර ඇත.
මෙවන් අඩන්තේට්‌ටම් වලට අප සමාජයේ කාන්තාවෝ කොතරම් අවස්‌ථාවන්හිදී ගොදුරු වේද? මහමඟදී, කාර්යාලයේදී, දුම්රියේදී, බස් රියේදී මෙවන් සිද්ධියකට මුහුණ නොදුන් කාන්තාවක් නොමැති තරම්ය. එවන් අතවරයන්ට එරෙහිව කතා කළොත් හෝ නැගී සිටියොත්, නින්දාවට ලක්‌වීම හා තවත් අපහාසයන්ට ගොදුරු වීම සිදු වන නිසා කාන්තාවෝ ඉවසා සිටිති. නමුත් නීතිය ඉදිරියේ මෙවන් ක්‍රියා බරපතල වැරදි ලෙස පිළිගැනේ. මෙම අඩන්තේට්‌ටම් කිරීමේ වරද දණ්‌ඩ නීති සංග්‍රහයේ 342 වගන්තියේ දැක්‌වේ.
"සාපරාධී බලහත්කාරය පෑම" යනු කුමක්‌දැයි
දැන් විමසා බලමු.
දණ්‌ඩනීති සංග්‍රහයේ 341 වන වගන්තියට අනුව යම් කාන්තාවකට නීති විරෝධීව පාඩුවක් සිදු කිරීමේ හෝ අප්‍රසන්නතාවයක් ඇති කිරීමේ අදහසින් යම් පුද්ගලයෙක් බලහත්කාරය හිතාමතාම පාවිච්චි කරයි නම්, එම කාන්තාවට සාපරාධී බලහත්කාරයක් සිදු කළා සේ සලකයි. උදාහරණයක් ලෙස A විසින් B යන ස්‌ත්‍රියගේ මුහුණු වැස්‌ම ඕනෑ කමින්ම අදියි. මෙහිදී A විසින් B ට ඕනෑ කමින්ම බලහත්කාරය පායි. ඔහු මෙසේ කරන ලද්දේ ඇයගේ කැමැත්ත නොමැතිව, ඇයට පාඩු කිරීමේ හෝ භය කිරිමේ හෝ අප්‍රසන්නතාවයක් ඇති කිරීමේ අදහසින් හෝ එලෙස වීමට ඉඩ ඇති බව දනිමින් නම්, ඔහු ඇයට සාපරාධී බලහත්කාරය පා ඇත්තේ ය.
ඉහත සඳහන් නීතිමය ප්‍රතිපාදන දෙස බලන විට අප රටේ කාන්තාවන්ට ආරක්‌ෂාව,
රැකවරණය සපයන නීති ප්‍රතිපාදනයන් පිළිබඳව අපට අවංකව සතුටු වීමට හැකිය. නමුත් කණගාටුදායක තත්ත්වය වන්නේ කාන්තාවන් මෙම නීතින් පිළිබඳව දැනුවත් වි නොසිටීමයි.
ඊටත් වඩා ශෝචනීය තත්ත්වය නම්, ප්‍රයෝගිකව ක්‍රියා මාර්ග ගැනීමේදී මේ නීති ප්‍රතිපාදනයන් නිසියාකාරව ක්‍රියාත්මක නොවීමයි. පැමිණිල්ල
රැගෙන පොලීසියට යන කාන්තාවට සිදුවන්නේ තව තවත් අපහසුතාවයට ලක්‌වීමටයි. විමර්ශණ කටයුතුවල නිරත වීමට උදාසීන වන පොලිස් නිලධාරීහු සැකකරු සොයා යාමේ වගකීම කාන්තාවටම පවරති. එසේ නැත්නම් මෙය බරපතල වරදක් නොවන්නේ යෑයි සළකා සමථයකට පත් කිරීමට හෝ සිද්ධිය අමතක කර දැමිමට කාන්තාවට යෝජනා කරති. වර්තමාන සමාජයේ අපරාධයන් ශිඝ්‍රයෙන් වර්ධනය වන්නේ මෙවන් නිද්‍රශීලි තත්ත්වයන් නිසාය. වරදට දඬුවම් දෙන සමාජයක වැරදි කිරීමට මිනිස්‌සු බියවෙති. වරදට දඬුවම් නැති තැන වරදකරුවෝ නිදැල්ලේ සැරිසරති.
කෙසේ වුවද, මෙවන් වරදකට මාස 3 ක් දක්‌වා කාලයක සිර දඬුවමකිනුත්, දඩයකිනුත් දඩුවම් කළ යුතු බව දණ්‌ඩ නීති සංග්‍රහයේ 343 වගන්තියේ දැක්‌වේ. 346 වගන්තියට අනුව යම් කාන්තාවකට අගෞරව කරන අදහසින් අඩන්තේට්‌ටම් කිරීම හෝ සාපරාධී බලහත්කාරය පෑම සිදු කළහොත් වසර 2 ක බන්ධනාගාර ගත කිරීමකිනුත්, දඩයකිනුත් දඩුවම් කළ යුතු බව දැක්‌වේ.
අවසාන වශයෙන් කිව හැක්‌කේ තමන්ට එරෙහිව සිදුවන හිංසනයන් පිළිබඳව දැනුවත් වීම පමණක් නොව ඒවාට එරෙහිව නැගී සිටීමටද කාන්තාවට වගකීමක් ඇති බවයි. එහිදී විවිධ දුෂ්කරතාවලට මුහුණ දීමට ඇයට සිදුවනු ඇත. කෙසේ වුවද, ඒවාට නිර්භයව මුහුණ දී, සමස්‌ත කාන්තා පරපුර වෙනුවෙන්ම කාන්තා හිංසනයට එරෙහිව ක්‍රියාත්මක වීම ඇයගේ යුතුකමකි.
නොමිලේ නීති ආධාර සපයන බොහෝ ආයතන අප රටේ ඇත. ඒ හරහා තමාට වූ හිංසනය සහ අතවරය වෙනුවෙන් නීතියේ දී ඇති නිර්ලෝභී ප්‍රතිපාදනයන් ප්‍රයෝජනයට ගෙන වරදකරුට දඬුවම් ලබා දීම සිදුකළ යුත්තකි. හිංසනයට එරෙහි සමාජයක් ගොඩ නැගෙන්නේ එවිටය.
නීතිඥ රොකී ආරියරත්න
මේ නීතිය පිරිමි විරෝධී නීතියක්.පිරිමි විරෝධී කාන්තා සංවිධාන විසින් මේ නීති හදන්නෙ පවුල් විනාශ කරන්න
ReplyDeleteමේ නීතිය පිරිමි විරෝධී නීතියක්.පිරිමි විරෝධී කාන්තා සංවිධාන විසින් මේ නීති හදන්නෙ පවුල් විනාශ කරන්න.කාන්තාවන් කරන වැරදි වලට නීති නැද්ද
ReplyDelete