Saturday, April 9, 2011

දරුවෙකු නොමැතිවීමේ වරද පිරිමින්ටත්


මදසරුභාවය ස්‌ත්‍රී පුරුෂ දෙපාර්ශවයේ ම තිබෙනා ගැටලූවක්‌ විය හැක. නමුත් අප සමාජයේ මෙම වරද පටවා ඇත්තේ කාන්තාව පිටය. කාන්තාව මෙම වේදනාව විදගෙන සමාජයෙන් මුළුගැන්වී දුක්‌ විදියි. පුරුෂයන්ගේ ඇත්තේ වෙනස්‌ම හැසිරීමකි. බොහෝ පුරුෂයින් තුළ ඇත්තේ තමා නිරෝගී පුරුෂ ශක්‌තියකින් හෙබි සරු පුරුෂයන් යන හැඟීමය. මෙම පුරුෂ ශක්‌තිය හා සරුභාවය ගුණාංග 2 කි. පුරුෂ ශක්‌තිය යනු පුරුෂයෙකු ලෙස පෙනුමෙන් හා ක්‍රියාවෙන් ඇති වෙනසය. පුරුෂ භාවය යනු ගැබ් ගැනීමක්‌ ඇති කිරීමට පුරුෂයෙකුට ඇති හැකියාවයි. සාමාන්‍යයෙන් එක වරකට පිට කරනු ලබන ශුක්‍ර තරල ප්‍රමාණය 2 ml - 5 ml ත් අතර ප්‍රමාණයක්‌ වේ. එහි එක්‌ 1 ml          ශුක්‍රාණු මිලියන 20 ට වැඩි ප්‍රමාණයක්‌ තිබිය යුතු අතර ඒවාට වේගයෙන් පිහිනා යැමේ හැකියාව තිබිය යුතුය. සමහර පුරුෂයින් තුළ දැකිය හැකි ගැටලු වන්නේ එකදු ශුක්‍රාණුවක්‌වත් නොමැති වීම ශුක්‍රාණු ප්‍රමාණය අඩු වීම. ඒවායේ ක්‍රියාකාරිත්වය අඩුවීම සහ ව්‍යුහමය වශයෙන් ඒවා අස්‌වාභාවික වීමය. තවද ශුක්‍ර තරලයෙහි විෂබීජ තිබීමද ගැබ් ගැනීමට බාධා ගෙන දේ. ශුක්‍රාණු නිපදවීම සිදුවන්නේ වෘෂණ කෝෂ තුළ ය. ශුක්‍රාණුවක්‌ මෝරා ක්‍රියාකාරිත්වයෙන් එළියට පිටවීමට මාස 03 ක්‌ ගත වේ. මෙම ශුක්‍රාණු වෙනත් ග්‍රන්ථින් මගින් ස්‍රාවය වන තරල සමග මිශ්‍ර වී කුඩා නාලයක්‌ ඔස්‌සේ ගමන් කර පිටතට නිකුත් වේ. 

මෙම නාලවල අවහිරතා ඇතිවිට ශුක්‍ර තරලයට ශුක්‍රාණු මිශ්‍ර වීම සිදු නොවේ. එනම් ශුක්‍රාණු නිපදවීම සිදුවුවත් පිටතට නිකුත් වීම සිදු නොවේ. තවත් සමහර පිරිමින්ගේ විවිධ හේතුන් නිසා ශුක්‍රාණු නිපදවීම සිදු නොවන අවස්‌ථා ඇත. මෙය සමහර විට උපතින් ම සිදු වේ. ශුක්‍රාණු වල ප්‍රමාණය හා ගුණාත්මක භාවයට බලපාන කරුණු බොහෝ ඇත. මේ තත්ත්වය උපතේ පටන්ම තිබිය හැකිය. නමුත් පාරිසරිකව බලපාන සාධකද ඇත. දුම්පානය කෙලින් ම බලපාන සාධකයකි. රසායනික ද්‍රව්‍ය මෙම ක්‍රියාවලියට විෂකාරී වේ. එබැවින් නිතර රසායන ද්‍රව්‍ය ඇසුරෙහි රැකියාව කරන අවස්‌ථා සහ පරිසර දූෂණය පුරුෂ මඳසරුභාවයට දායක වි ඇති සාධක ලෙස පිළිගැනීමක්‌ ඇත. තද උෂ්ණත්වය වෘෂණ කෝෂවලට බලපාන විට ශුක්‍රාණු වල ගුණාත්මකභාවය අඩු වේ. ශුක්‍ර තරලයේ විෂබීජ තිබීමෙන්ද ශුක්‍රාණු වල ක්‍රියාකාරිත්වයට බාධා ඇතිවේ. මේ හැර වෙනත් ශාරීරික ආබාධ නිසාද ශුක්‍රාණු පිටකිරීමේ ගැටලු තිබිය හැකිය. උපතින් ම ඇතිවන ව්‍යුහමය ගැටලු හෝ පසු කලෙක ඇතිවුණු තුවාල හෝ ස්‌නායු ආබාධ මීට හේතු විය හැකිය. එවැනි අවස්‌ථා වල ශුක්‍රාණුවල ගුණාත්මකභාවය ඇත්නම් ඒවා භාවිතා කර ගැබ්ගැනීමක්‌ ඇති කිරීමට තාක්‌ෂණික ක්‍රම ඇත. වෘෂණ කෝෂ අවට නහර ගැට ගැසී තිබීමද ශුක්‍රාණුවල අඩුපාඩු ඇති වීමට හේතු විය හැකි යෑයි මතයක්‌ ඇත. මානසික ආතතියද ශුක්‍රාණු වල ක්‍රියාකාරිත්වයට බලපාන තවත් සාධකයකි. ශුක්‍රාණු වල ගුණාත්මකභාවය පරීක්‌ෂා කිරීම සඳහා ධාතු පරීක්‌ෂණය සිදු කරන විට ඒ සම්බන්ධව අංශ ගණනාවකින් සොයා බලනු ලැබේ. ශුක්‍රාණුවල සංඛ්‍යාව ක්‍රියාකාරිත්වය ව්‍යුහමය අඩුපාඩු, විෂබීජ ඇතිද නැතිද යන බව මේ සියල්ල එම වාර්තාවල සඳහන් වේ. මේවායේ ගැටලු ඇතිවිට ඒවාට ප්‍රතිකාර කරනුයේ හේතුව සොයා බලා ඒවා නිවැරදි කිරීමෙහි ශුක්‍රාණු වල තත්ත්වය වර්ධනය කිරීමට හෝමෝන ඖෂධ භාවිතය සාර්ථක ප්‍රතිඵල පෙන්වා නැත. 

ධාතු තැන්පත් කිරීම මෙවන් අවස්‌ථා වල බහුලව භාවිත වන ප්‍රතිකාර ක්‍රමයකි. ශුක්‍රාණු ප්‍රමාණ ඉතා අඩු වුණු විට නලදරු තාක්‌ෂණය උපයෝගී කරගනිමින් සංසේචනය සිදු කර ගැබ් ගැනීමට සලස්‌වයි. ශුක්‍රාණු නිපදවීම සිදුවන්නේ නැත්නම් ඉහත ක්‍රම වලින් දරු ඵල ලබා ගැනීම සිදු කල නොහැක. එවන් අවස්‌ථාවල ඇති එකම විකල්පය ශුක්‍රාණු බැංකුවක ආධාරයෙන් ශුක්‍රදායක වැඩසටහනකට යොමු වීමයි. ධාතු තැන්පත් කිරීම යනුවෙන් අදහස්‌ වන්නේ ශුක්‍රාණු ගර්භාෂය තුළ තැන්පත් කිරීමයි. සාමාන්‍ය සංසර්ගයේදී යෝනි මාර්ගයේ ඉහළ කොටසේ තැන්පත් කරන ශුක්‍රාණු ඒ මේ අත පිහිනමින් සිටින අතර ඉන් සමහරක්‌ ගර්භාෂයට සහ ඉන් අනතුරුව පැලෝපීය නාලයට ඇතුළු වී එහි කෙලවර දෙසට පිහිනා යයි. මෙහිදී ගර්භාෂයට පිවිසෙන්නේ තැන්පත් කරන ශුක්‍රාණු වලින් සුළු ප්‍රතිශතයකි. ධාතු තැන්පත් කිරීමක්‌ සිදු කිරීමට ප්‍රථම එම අදාළ චක්‍රයේ ඩිම්බ මේරීම සඳහා ඖෂධ ලබාදෙනු ලැබේ. ඉන් අනතුරුව අල්ට්‍රා සවුන්ඩ් ස්‌කෑන් පරීක්‌ෂණ මගින් ඩිම්බවල පරිණතිය පරීක්‌ෂා කරන අතර පරිණත ඩිම්බ තිබේ නම් එම ඩිම්බ, ඩිම්බ කෝෂයෙන් පිටවීමට සැලැස්‌වීමට එන්නතක්‌ දෙනු ලැබේ. Intra uterine insemination නොහොත් ධාතු තැන්පත් කිරීමකදී තෝරාගත් ගුණාත්මකභාවයෙන් ඉහළ ශුක්‍රාණු පමණක්‌ සිහින් නලයක්‌ ආධාරයෙන් සෘජුවම ගර්භාෂයේ තැන්පත් කරනු ලැබේ. මෙම ක්‍රමයෙන් එකවරකදී සාර්ථක ප්‍රතිඵල අත් කරගත්තේ 5%-20% ක්‌ අතර පිරිසකි. ශුක්‍රාණු වල දුර්වලතාවයට අමතරව ගර්භාෂය තුළ පවතින ගැටලු වලදී ධාතු තැන්පත් කිරීම සුදුසු ප්‍රතිකාර ක්‍රමයක්‌ ලෙස දැක්‌වේ. උදාහරණ ලෙස ගැබ් ගෙලෙහි දී ශුක්‍රාණු විනාශ වන ආබාධ ඇති විට සහ ඩිම්බ මේරීම හරි ආකාරයෙන් සිදු නොවන විට මෙම ධාතු තැන්පත් කිරිම සාර්ථක ප්‍රතිඵල ගෙනදේ. 

ශුක්‍ර තරලයේ ශුක්‍රාණු නැති අවස්‌ථා වලදී ශුක්‍රදායක වැඩසටහන් මගින් සාර්ථක ප්‍රතිඵල ලබාගත හැකිය. වෙනත් යුවළකගේ අවශ්‍යතාවය සඳහා ප්‍රදානය කිරීමේ අරමුණින් ශුක්‍රාණු ගබඩා කිරීම දියුණු රටවල බහුලව සිදුවන දෙයකි. දැන් එය ලංකාවේද සිදු වේ. මෙම වැඩසටහනේදී ශුක්‍රාණු ලබාගන්නා යුවළ ශුක්‍රාණු ලාභීන් වන අතර ශුක්‍රාණු ප්‍රදානය කරන තැනැත්තා ශුක්‍රාණු දායකයා ලෙස හැදින්වේ. ශුක්‍රාණුදායකයා ස්‌වෙච්ඡාවෙන් ඒ සඳහා ඉදිරිපත් විය යුතුය. ඉන් අනතුරුව ඔහු තුළ සමාජ රෝග සහ ප්‍රවේණිගත රෝග තිබේදැයි දැන ගැනීමට රුධිර පරීක්‌ෂණයක්‌ කරනු ලැබේ. දායකයා ලෙස තෝරා ගන්නේ මින් පසුවයි. මේ ආකාරයෙන් ලබා ගන්නා ශුක්‍රාණු ඉතා තද සීතල තත්ත්වයන් යටතේ ගබඩා කර තබාගනු ලැබේ. ශුක්‍රාණුලාභී කාන්තාව සූදානම් කිරීමෙන් පසුව ඩිම්බ මේරීම පරීක්‌ෂා කර බලා නියමිත දිනට මෙම ශුක්‍රාණු එළියට ගෙන සූදානම් කිරීමෙන් පසු ඩිම්බ මේරීම පරීක්‌ෂා කර බලා නියමිත දිනට මේ ශුක්‍රාණු එළියට ගෙන සූදානම් කර IUI හෙවත් ධාතු තැන්පත් කිරීමේ ක්‍රමයට ඇයගේ ගර්භාෂයේ මෙම දායක ශුක්‍ර තැන්පත් කෙරේ. මෙම ක්‍රමයේ සාර්ථකත්වයද 5%-20% ත් අතර පමණ වේ.

වෛද්‍ය චම්පා නෙල්සන්

No comments:

Post a Comment

Total Pageviews

Advertise