Tuesday, April 12, 2011

කුරුලෑ තද කිරීම භයානකයි !

කුරුලෑ කැඩීමෙන් සමෙහි වලවල් වැනි ස්‌වභාවයක්‌ ඇතිවන බව අපට දැකගත හැකිය. මෙම තත්ත්වයට හේතුව කුමක්‌ද?

කුරුලෑවලින් ඇතිවන වලක්‌ යනු කුරුලෑ කැළැලක්‌ වේ. යම් තැනක කැළැලක්‌ ඇතිවෙනවා යනු සාමාන්‍යයෙන් තිබිය යුතු පටකය ප්‍රදාහයට ලක්‌ වී රෝම කූපය සහ ස්‌නේහස්‍රාවී ග්‍රන්ථිය අඩංගු පයිලොසබේෂස්‌ යුනිට්‌ ලෙස හඳුන්වන ඒකකය සහ ඒ අවට තිබෙන පටකවලට හානි සිදුවී සාමාන්‍ය පටක නොමැතිවීමයි. එම සාමාන්‍ය පටක තිබූ ස්‌ථාන පිලිසකර වීම සඳහා කොලජන් තන්තු අවශ්‍ය වේ. මෙම කොලජන් තන්තු මේරීමේ ක්‍රියාවලිය හෙවත් මෝල්ඩ්වීමේදී කොලජන් තන්තු ඇති ප්‍රදේශ හැකිලීමකට භාජනය වේ. මෙම හැකිලීම නිසා එවැනි තැන් සමේ මට්‌ටමට වඩා පහළට ගමන් කරයි. එය සෙසු සමට වඩා ඇතුළට ඇදී යාමක්‌ ඇති වී කැළැලක්‌ ඇතිවේ. එවිට ඩිප්ප්‍රෙස්‌කාස්‌ හෙවත් ඇතුළට ගිය කුරුලෑ කැළැල් දැකගත හැකියි. එම නිසා කුරුලෑවල මූලික අවස්‌ථාව වන බ්ලැක්‌ හෙඩ්ස්‌ හෝ වයිට්‌ හෙඩ්ස්‌ අවස්‌ථාවලදී ප්‍රදාහයක්‌ ඇති නොවේ. එහි තැන්පත් වී ඇති තෙල් ස්‌වභාවිකවම එලියට ගොස්‌ ස්‌වභාවික ලෙස වැසී සුවවීමක්‌ වේ. එයට යම් ආකාරයකට තුවාලයක්‌ සිදුකරන්නට ගිය විට එය ප්‍රදාහයට ලක්‌ වී බැක්‌ටීරියා ගොස්‌ ආසාදනයට ලක්‌ වේ. මෙම ආසානයට ලක්‌වීම නිසා ඇතිවන ප්‍රදාහයේ ප්‍රතිඵලයක්‌ ලෙස රෝම කූපය සහ ස්‌නේහස්‍රාවී ග්‍රන්ථිය අඩංගු ඒකකය විනාශ වේ. ඒ විනාශවීම හේතුවෙන් කැළැල ඇති වේ. එම කැළැල ඇතුළට ගිය වලක්‌ ලෙස හඳුනාගත හැකිය.

කොමිඩෝන් එක්‌ස්‌ට්‍රැක්‌ටර් (Comedone Extractor) නැමැති උපකරණය මගින් බ්ලැක්‌ හෙඩ්ස්‌ සහ වයිට්‌ හෙඩ්ස්‌ ඉවත් කිරීම රූපලාවන්‍යාගාර තුළ සිදුකරයි. මෙසේ කිරීම සුදුසුද?

බ්ලැක්‌ හෙඩ්ස්‌ සහ වයිට්‌ හෙඩ්ස්‌වල ඇති ඝනීභවනය වූ ස්‌නේහය ස්‌වභාවිකවම ඉවත් වේ.

එක්‌ස්‌ට්‍රැක්‌ටර් නැමැති කුඩා උපකරණය මගින් කරනුයේ කුරුලෑව තිබෙනා තැනට මෙහි සිදුර ඇති කොටස තබා වටේට තද කිරීමෙන් කොස්‌ස ලෙස හඳුන්වන කොටස එළියට ගැනීමයි.

මෙහිදී එක්‌තරා විදිහකට පයිලොසබේෂස්‌ යුනිට්‌ ලෙස හඳුන්වන කොටසට හානි සිදුවිය හැකියි. අද චර්ම රෝග වෛද්‍ය විද්‍යාවට අනුව අපට කිසිදු තුවාලයකින් තොරව පයිලොසබේෂස්‌ යුනිට්‌ හි කට විවර කර බ්ලැක්‌ හෙඩ්ස්‌ හෝ වයිට්‌ හෙඩ්ස්‌ ලෙස හඳුන්වන ඝනීභවනය වූ ස්‌නේහය ඉවත් කළ හැකි බෙහෙත් වර්ග තිබේ. එවිට කිසිදු තුවාලයකින් තොරව ඒවා ඉවත් වේ. මේ මගින් ඉතා ඉක්‌මනින් බ්ලැක්‌ හෙඩ්ස්‌ හෝ වයිට්‌ හෙඩ්ස්‌ ඉවත් වේ.


චර්ම රෝග විශේෂඥ
වෛද්‍ය අසෝක කමලදාස

සාකච්ඡා කළා - හරින්දී ලියනගේ

No comments:

Post a Comment

Total Pageviews

Advertise