Saturday, April 9, 2011

කන්තෝරුවේ රසමුසු තැන්

මාසයකට වරක්‌ කාර්යාලයේ වැටුප් දිනයට ඇතිවන ඝෝෂාව කාර්යාලයේ අයට නම් අමුතු දෙයක්‌ නොවේ. සුළු සේවක මහතෙක්‌ වන සෝමපාල හා බිරිඳ අතර බහින් බස්‌ වීම සුළුවේලාවකින් නිමවන්නේ බිරිඳ මාසික වැටුපෙන් වැඩි කොටසක්‌ සතුකර ගැනීමෙනි. කාර්යාලය අසළ අශෝබන ඝෝෂාව නවතන ලෙසට සෝමපාලට අවවාද කරන අවස්‌ථාද නැත්තේ නොවේ. මත් වතුරට, රේස්‌බුකිවලට ඇල්මක්‌ දක්‌වන සෝමපාල කාර්යාලයේ කුමන අංශයක හෝ අතිකාල වැඩද සොයාගනී. තරමක්‌ උස කෙට්‌ටු සිරුරකින් හෙබි ඔහු කොණ්‌ඩය පිටුපසට පීරා රැවුල සම්පූර්ණයෙන් බා උදයට කාර්යාලයට පැමිණෙන්නේ සුදු ඇඳුමින් සැරසී සුවඳ හමන පවුඩර් වර්ගයක්‌ද මුහුණ තවරාගෙනය. කථාව, සිනාව පියකරුය. ක්‍ෂණයකින් කෙනෙක්‌ වසඟයට පත්වේ. යමෙකුට ඕනෑම උපකාරයක්‌ කිරීමට තරම් නිහතමානීය. වැරදිවලට කොතෙක්‌ දොaෂාරෝපණය කළද මඳ සිනාවකින් මුව සරසාගෙන නිසොල්මන්ව සිටී.

දිනක්‌ උදය දුම්රියෙන් රැකියාවට පැමිණෙමින් සිටියදී ප්‍රවේශපතක්‌ නොමැතිsවීම නිසා දුම්රිය ටිකට්‌ පරික්‍ෂකයන් විසින් සියභාරයට ගෙන ඇත. අවස්‌ථාවක්‌ බලා ඔවුන්ගෙන් මිදී දුම්රිය ස්‌ථානයේ වැසිකිළියට දුවගියේය. එතුළදී කාර්යාලයේ නිලධාරී එදිරිවීර මහතා සිටිනු දක්‌නට ලැබිණි. සිදුවී ඇති අකරතැබ්බය පැවසූ විට එදිරිවීර මහතා කේන්තියෙන් කිසිවක්‌ නොපවසාම වැසිකිළියෙන් පිටතට පැමිණියේය. පසුපස පැමිණි සෝමපාල දුම්රිය පරීක්‌ෂක නිලධාරීන්ට කොටුවිය. මෙය දැක දැකත් ආපසු යාමට සිත් නොදුන් එදිරිවීර මහතා දඩ මුදල ගෙවා සෝමපාල නිදහස්‌ කරගෙන කාර්යාලයට එනතෙක්‌ම දෙහි කප කපා පැමිණියේය. සෝමපාල කිසිම අමුත්තක්‌ නොමැතිව කාර්යාලයේ වැඩ කටයුතුවල නිරත විය.


"මේ ලඡ්ජා නැති මහත්මය අපට හොඳට මතකයි" එක්‌ ටිකට්‌ පරික්‌ෂක මහතෙක්‌ පැවසූ බව එදිරිවීර මහතා පැවසුවේය.

පීටර් ආච්චි මැරුණා, සීයා මැරුණා කියමින් ආච්චිලා සීයලා බොහෝ දෙනකු වෙනුවෙන් නිවාඩු ලබාගෙන තිබුණි. දිනක්‌ ප්‍රධානියා ආච්චිලා, සීයලා තව කොපමණ සිටිනවාදැයි විමසුවේය.

මින් පසු ලොකු තාත්තා, බාප්පා, ලොකු අම්මා, පුංචම්මා, මාමා, නැන්දා ආදී වශයෙන් නිවාඩු ලබාගැනීමට කවරෙකු හෝ මැරුණ බව කීමට පුරුදු විය. සාමාන්‍ය නිවාඩු ඉවරවෙන විට අසනීප නිවාඩුද උපක්‍රමයෙන් ලබාගත්තේය. දිනක්‌ තදබල අසනීපයකින් පෙලෙන බව පවසා පීටර්Êපුතා අත ලිපියකින් දැනුම්දී තිබුණි. කාර්යාල ප්‍රධානියා ඔහුගේ දුක සැප බලා එන ලෙස කාර්යාලයේ දෙදෙනකුට පවසා තිබිණ. මේ අනුව ගුණපාලත් ජයසේකරත් සති අන්තයේ ඔහුගේ නිවස බලා ගියහ. ගම් පලාතෙහිදී හමුවූ අසල්වැසි තරුණයෙක්‌ පසුගිය දිනවල පීටර් සමඟ මැණික්‌ ගැරීමට ගිය බව පැවසුවේය. පීටර්ගේ බිරිඳ ඔවුන් කැඳවාගෙන ගියේ ඔහු දහවල් කෑම ගනිමින් සිටි ස්‌ථානයටමය. වම්බටු, මෑකරල්, කරවල වෑංජන සමඟ ලොකු බත් පතක්‌ අනුභව කරමින් සිටියේය. ගුණපාලත්, ජයසේකරත් දුටු පීටර්ගේ දැස්‌ විශාලවිය.

"මම දවස්‌ තුනකට පස්‌සෙ අද තමයි බත් ටිකක්‌ කන්නෙ. උණ නිසා කිසිම කෑමක්‌ කටට ගන්න පිරියක්‌ නැතිව ඇඳෙන් නැගිට ගන්නවත් බැරුවයි සිටියෙ" පීටර් පැවසුවේය. පීටර් කිසිම අසනීපයකින් පෙලුන බවක්‌ දක්‌නට නොතිබුණි. පසුව මිතුරන්ට තේ පැන් සංග්‍රහයකින් සප්පායම් කොට පැමිණීම ගැන ස්‌තුති කළේ පීටර්ගේ බිරිඳය. කාර්යාලයේ අය පීටර් හඳුන්වන්නේ මහ බොරුකාරයා නමිනි.

අවසරයක්‌ නොමැතිව නිවාඩු ගත් චාලි වම් අත වැලමිට දක්‌වා රෙදි පටිවලින් වෙලා බාගෙට ඔසවාගෙන වේදනා මුසු මුහුණින් ආයතන ප්‍රධානියා අසලට යනු කවුරුත් සැලකිල්ලෙන් බලා සිටියහ.

"බයිසිකලයෙන් වැටුණා සර් විදුලි පණිවුඩයක්‌ එවන්නවත් තැපැල් කන්තෝරුවට යන්නත් බැරුව සිටියා" චාලි කොඳුරන්නට විය. ප්‍රධානියා චාලිගේ හිසෙහි සිට පාදාන්තය දක්‌වා පිරික්‌සුම් බැල්මක්‌ හෙළීය.


චාලි බෙහෙත් ගත් ශල්‍ය වෛද්‍යවරයෙකුගේ නමක්‌ද පැවසුවේය. ආයතනික ප්‍රධානියා දින පොතක්‌ පෙරලා බලා දුරකථනය කනේරුවාගෙන අංක කරකවන්නට විය. මේ ගැන වෛද්‍යවරයාගෙන් විමසන්නට යන බව සිතූ චාලි මහත් කැළඹීමෙන් ඒ මේ අත බලන්නට විය.

සර් දැන් හොඳටම සනීපයි චාලි සෙමෙන් තෙපලේය. බොරු කරන්නේ නැතිව ගිහින් වැඩ කරනවා ප්‍රධානියා විධානය කළේය.

පසුව කාර්යාලය තුළදී විහිළු කිරීම නිසා කිපුණු චාලි අත ඒමේ අත හරවමින් කතාකිරීම නිසා හාස්‍යයටද භාජනය විය. ඔහු හඳුන්වන්නේ කුඩා බොරුකාරයා නමිනි.

කරුණාදාස කාර්යාලයට පළමු පත්වීම ලද ආධුනිකයෙකි. හාපුරා කියා පළමු මාසික වැටුපගත් දිනයෙහි දහවල් කෑම පැයෙහිදී පිටතට ගියේ ගමන් බෑගයක්‌ මිලදීගෙන ඉක්‌මණින්ම කාර්යාලයට පැමිණීමේ බලාපොරොත්තුවෙනි. ලැබුණු මාසික වේතනය කලිසමෙහි ඉදිරිපස සාක්‌කුවක දමාගෙන වෙළෙඳ සැල්වලින් මිළ ගණන් විමසමින් අගනුවර ජනාකීර්ණ වීදිවල ඇවිද ගියේය. ඈත පළාතක කෙනෙක්‌ වූ ඔහු අහිංසක තැනැත්තෙකි. හිටි හැටියේම හැඩි දැඩි අයෙක්‌ මුදල් පසුම්බිය උදුරාගෙන වේගයෙන් පලාගියේය. කරුණාදාසද මුලු වැරයොදා පසුපස හඹා ගියේය. තවත් කීපදෙනෙක්‌ ඔහුට සහායට මෙන් හොරෙක්‌, හොරෙක්‌ යනුවෙන් කෑ ගසමින් ඔහු සමඟම ඉදිරියට දිවගියහ. පටු මාවත්, මුඩුක්‌කු වැසිකිලි අස්‌සෙන් සොරා පසුපස දුවගොස්‌ විඩාවට පත්විය. සහායට පැමිණියෝද දක්‌නට නොවින. හිසකෙස්‌ අවුල්වී ඇඳුම් පොඩිවී, දහඩිය පෙරාගෙන, ප්‍රමාදවී, නිරාහාරව කාර්යාලයට පැමිණි ඔහු වෙතින් දිස්‌වූයේ දුක්‌මුසු පෙනුමකි. මාසයේ බෝඩිම් ගාස්‌තු පියවා ගැනීමටවත් ඔහු අත මුදල් නොතිබුණි. කාර්යාලයේ සැමගේ සහයෝගය මැද සැනසෙන්නට ඔහුට සිදුවුණි.

චන්ද්‍රපාල කාර්යාලයට පැමිණ නිවාඩු අයදුම්පතක්‌ ලහිලහියේ පුරවන්නට විය. එතනට ගිය මිත්‍රයන් දෙදෙනෙක්‌ ඔහුගෙන් නිවාඩු ගැනීමට හේතු විමසන්නට විය. දරුවා ලැබීමට බිරිඳ රෝහල්ගත කළ බව පැවසුවේය.

"ප්‍රසූති නිවාඩු අයදුම් කරපන් එතකොට උඹට තියෙන නිවාඩු ඉතුරුවෙනවා" මිතුරෙක්‌ ඇඟට පතට නොදැනී පැවසුවේය.

"අලුත් චක්‍රලේඛය දැක්‌කෙ නැද්ද" අනෙක්‌ මිතුරාද පැවසුවේය. ප්‍රධානියා අසල කාර්යාලයීය ලිපියකට උපදෙස්‌ ගනිමින් ලඝූලේකාවක්‌ වන කාන්ති සිටියාය. චන්ද්‍රසිරිගේ නිවාඩු අයදුම්පත දෙස ප්‍රධානියා පුදුමයෙන් බලා චන්ද්‍රසිරි දෙස සරදම් බැල්මක්‌ හෙලුවේය.

"කවුද කිව්වෙ ඔයාට ප්‍රසූති නිවාඩු තියෙනව කියල බබා හම්බවෙන්නෙ නෝනටයි. චන්ද්‍රසිරිට නොවෙයිනෙ. අවශ්‍යනම් චන්ද්‍රසිරිට තියෙන නිවාඩු දෙන්නම්" ප්‍රධානියා පැවසුවේය.

කාන්ති අතින් කට වසාගෙන සිටියේ සිනාව නවතා ගැනීමට බැරිවය. චන්ද්‍රසිරි ලඡ්ජාවෙන් යන්නට ගියේය.

ඩබ්ලිව්. සිරිසේන යාගොඩමුල්ල.

No comments:

Post a Comment

Total Pageviews

Advertise