Saturday, April 16, 2011

සරසවි ඇදුරන්ගේ තීරණයට ගුරු සංගම් සහාය


ලබන අගෝස්‌තු මස පැවැත්වෙන අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස්‌ පෙළ විභාගයේ ඇගැයීම් ක්‍රියාවලියෙන් ඉවත් වීමට විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය ගෙන ඇති තීරණයට සහය පළ කරන බව ලංකා ගුරු සංගමය හා අධ්‍යාපන වෘත්තිකයන්ගේ සංගමය ප්‍රකාශ කරයි.

නිවේදනයක්‌ නිකුත් කරමින් මේ බව පවසන එම සංගම් එහි මෙසේද සඳහන් කර ඇත.

විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ වැටුප් අරගලයට විසඳුමක්‌ ඉල්ලා බලකරන ක්‍රියාමාර්ගයක්‌ ලෙස උසස්‌ පෙළ ඇගයීම් ක්‍රියාවලියෙන් මුළුමනින්ම ඉවත්වීමට තීරණය කර ඇත.

වැටුප් අරගල හමුවේ මුනිවත රකින රජයේ බලධාරීන්ගේ ඇස්‌ ඇරවීම සඳහා විශ්වවිද්‍යාල ආචාර්යවරුන් දරන ප්‍රයත්නයට කොන්දේසි විරහිතව සහාය පළ කිරීමට අප සංගම් ද තීරණය කර ඇති බව මෙයින් දන්වමු.



ගුරු හා විදුහල්පති සේවාවලද වැටුප් විෂමතා අරගලය හමුවේ අධ්‍යාපන බලධාරීන් නිහඬ ප්‍රතිපත්තියක සිටින බව නොරහසකි. මෙයට එරෙහිව දැඩි අරගලකාරී පියවරකට යැමට නියමිත ගුරුවරුන් හා විදුහල්පතිවරුන් දැඩිව කියා සිටින්නේ විෂමතා ඉවත් කිරීමේ ව්‍යාජ සැලසුම් නොව අධ්‍යාපන අමාත්‍යංශය කලින් එකඟ වූ අතුරු වැටුප් යෝජනාව ක්‍රියාත්මක කරන ලෙසය.

විශ්වවිද්‍යාල ආචාර්යවරුන් උසස්‌ පෙළ කටයුතු වලින් ඉවත් වුවහොත් එම කටයුතු කිරීමට ඔවුන් වෙනුවෙන් ශ්‍රී ලංකා ගුරු සේවයේ නිලධාරීන් සූදානම් නැති බව දන්වා සිටිමු. උසස්‌ පෙළ ප්‍රශ්න පත්‍ර සැකසීමේ ක්‍රියාවලියේ සිට ඇගැයීම් ක්‍රියාවලිය දක්‌වා විශ්වවිද්‍යාල ආචාර්යවරුන් සම්බන්ධ වීම තුළ එහි විශ්වසනීයත්වය තහවුරු වන බැවින් ඔවුන් ඉවත් වුවහොත් එය බරපතළ ගැටලුවකි. එම හිඩැස පිරවීමට ගුරුවරුන් සූදානම් නොමැති බව අවධාරණය කරමු.

No comments:

Post a Comment

Total Pageviews

Advertise