Sunday, April 10, 2011

"බඩු පලයං සල්ලි වරෙන්" (කොළඹ නගරයේ ජල්බරි සහ මගඩි)

කොළඹ නගරය ලස්‌සන වෙමින් පවතී. හැම තැනම මල්ය, ගස්‌ වදුලුය, ලතා මඩුලුය, දිය ඇලිය, අලංකාර වට රවුම්ය. මියුසික්‌ හෝනයක්‌ අඬවමින් මගේ ඇඟේ ගෑවී නොගෑවී ගිය ත්‍රිරෝද රියක පසුපස අළවා තිබූ "මුහුණේ ලස්‌සන හදවතේ ඇත්නම්" යන වදන ඇති ස්‌ටිකරයක්‌ දැක මට සිතුණේ කොළඹ නගරයේ උඩින් පේන ලස්‌සන ඇත්තටම එහි ජීවත් වන සමහරුන් තුළ තිබෙනවාද යන්නයි. කුරුඳුවත්ත හොඳය. කොල්ලුපිටියද හොඳය. වැල්ලවත්ත, තිඹිරිගස්‌යාය නාරාහෙන්පිට වැනි නගරද නරක නැත. ඒත් පිටකොටුව හෙවත් ගෙන්දගං පොළොව හොඳයි කියා කියන්නට කාට හැකිද?

ගෙන්දගං පොළොවට හිරු එළිය වැටී එහි ඇති දූවිල්ල සමඟ ඉහළට එසවෙන රස්‌නය දරා ගැනීම හැමෝටම ලේසි නැත. කරදිය වළල්ල පාගපු ඉර හඳ උලා කා වැද්දන්ගෙන් බණ අහපුගල් පළා මද කා ෙ-තවනේට ගල් ගසපු අයට එය එතරම් අසීරුවක්‌ නොවුණත් ගමෙන් එන අහිංසක ගැමියන්ට එය අමාරු කරුණකි. පරිසරය කොතරම් හානිකර වුවත්, ගතට පීඩා කරත් ඒ සියල්ලට වඩා අමාරු වන්නේ කොළඹ කාක්‌කන්ගෙන් ඔළුව බේරා ගැනීමටයි.

දුර ඈත තියාම දකින අහිංසක මෝඩ පුද්ගලයාගේ ඉරියව් කතා බහ හා හැසිරීම ආදිය මනාව නිරීක්‍ෂණය කිරීමෙන් එම තැනැත්තාව රැවටිය හැකි උපක්‍රමය කුමක්‌දැයි තීරණය කිරීමට මේ කොළඹ කාක්‌කන් දනී. කය බස (ඉදාහ ක්‌බටම්ටැ) කියවා යමෙකුගේ දුර්වල තැන් අඳුනා ගැනීමටත් ඉන් උපරිම පළ නෙළා ගැනීමටත් මෙම හොර තක්‌කඩි අතිදක්‍ෂයෝ වෙති. ගැමියන් මේවාට මගඩි කියා ආමන්ත්‍රණය කරද්දී නාගරිකයෝ කියන්නේ ජල්තර හෙවත් පාරවල් කියාය. මේ ජල්තර අද ඊයේ පටන් ගත් ඒවා නොවේ. දශක කීපයක්‌ තිස්‌සේ අපි ඒවා ගැන පත්තරවලින් කියවමු. රූපවාහිනියෙන් දකින්නෙමු. අපද බොහෝවිට මේ ගැන සමාජ විමර්ශන පිටුව තුළින් ලියා ඇත්තෙමු. එහෙත් තාමත් දිනපතා අඩුවක්‌ නැතිව නිතර නිතර මේ ජල්තර වලට මිනිස්‌සු අසුවෙති.

වරාය ඉදිරිපිට චාමස්‌ රථගාල තුළ නැවෙන් පන්නපු බඩු විකුණන හුසේන් කොම්පඤ්ඤ වීදිය කොළඹ දෙකේ කාක්‌කෙකි. ඔහු වැනි නැවෙන් පන්නපු බඩු විකුණන මොත්තකාරයන් තිහක්‌ පමණ අද නගරයේ විසිරී සිටී. මේ අය අතර චීන කාන්තාවන් කීප දෙනෙක්‌ද ඇත.

මෙම මගඩිය වැඩිපුරම වන්නේ කොටුව දුම්රියපළ ඉදිරිපිට හෝ ඒ අවට ජනාකිර්ණ වීදි හා මංමාවත් වලයි. ඇන්දිය හැකි (රැවටිය හැකි) යෑයි පෙනෙන පුද්ගලයකු හෝ කාන්තාවක්‌ දකින මෙම තක්‌කඩියා හෙමින් ඔහුට හෝ ඇයට ළංවී ඔරලෝසුවක්‌ හෝ රන් මාලයක්‌ මුද්දක්‌ පෙන්වා කියන්නේ මෙය ඉතා වටිනා භාණ්‌ඩයක්‌ බවත් තමා මෙය නැවකින් බැස ආ සුද්දකුගෙන් සොරාගත් හෝ ලබා ගත් බවත්ය. එසේත් නැත්නම් කඩයකින් පැන ආ කොල්ලකුගෙන් තමාට ලැබුණු බවයි. ඉක්‌මණින් නගරයෙන් පිටවී යැමට අවශ්‍ය නිසා මෙය අඩු මුදලට විකුණන බවත් ඔහු පවසයි. පිට පෙනුමෙන්ම ඉතා අනර්ඝ බවක්‌ හා වටිනා කමක්‌ ඇති මෙම භාණ්‌ඩයට ලොල් බඳින්නා එයට උනන්දු වෙද්දී තක්‌කඩියා කියා සිටින්නේ අතේ සල්ලි වැඩිපුර නැත්නම් තියෙන ගාන සමඟ වෙන මොකක්‌ හෝ දෙයක්‌ දී මෙය රැගෙන යන ලෙසයි. තක්‌කඩියාගේ මුකරි හා ආකර්ෂණය වන වචන වලට ඇන්දෙන ගැමියා රුපියල් දෙතුන් සීයක්‌ ඔහුගේ මිට මොළවා ගෙල බැඳි රන් මාලය සුරය හෝ ඉණ බැඳි රිදී හවඩිය හෝ ගලවා එම ලස්‌සන ඔරලෝසුව අයිති කර ගැනීමට පසුබට නොවේ. එමෙන්ම පැරණි වුවත් කෞතුක වටිනාකමක්‌ ඇති තම අත් ඔරලෝසුව හෝ මෙයට මාරු කරති. ගැහැනියක්‌ නම් ඇය තම මුද්ද රන් වළල්ලක්‌ හෝ සාරි කටුව පවා පූජා කර මෙම වටිනා කමක්‌ ඇති බව පෙනෙන භාණ්‌ඩය රැගෙන තම තිසර පටේ හෝ අත් ලේන්සුවේ ගැටයක්‌ ගසා සඟවා ගෙන ලහි ලහියේ පිටවී යයි. ගාණක්‌ හා තව වටිනා දෙයක්‌ අතට ගත් තක්‌කඩියා සෙනඟට වැද ඇසිපිය සැනින් අතුරුදන් වෙයි. ගැටයට අහුවුණු තැනැත්තා විනාඩි කීපයකින් කොහේ හෝ රක්‍ෂිත තැනකට ගොස්‌ වටිනා භාණ්‌ඩය මනා පරීක්‍ෂාවකට ලක්‌ කරද්දී ඔහුට දැනගන්නට ලැබෙන්නේ මෙය රුපියල් සියයක්‌ වත් නොවටිනා ආලේපිත හෝ අරුමෝසම් භාණ්‌ඩයක්‌ බවයි. සත්‍ය තේරුම් යන විට ඔහු හෝ ඇය සතුව තිබූ රුපියල් සිය ගාණක්‌ හා වටිනා තව දෙයක්‌ අහිමි වී හමරය.

වසරකට පමණ පෙර නගරය තුළ ඉතා ප්‍රබලව පැවති තවත් පාරකි කොළ තුන ගැහිල්ල.

මෙයද කොටුව දුම්රිය පළ ඉදිරිපිට හා ඒ අවට දක්‌නට ඇති මගඩියකි. එමෙන්ම කොළඹ මහ රෝහල, ඇස්‌ වාට්‌ටුව, මරදාන ආදී ප්‍රදේශ වලද සංවිධානය වූ පිරිසක්‌ මෙය අපූරුවට කැරගෙන ගියෝය. කොළ තුනේ සූදුවල වහල ගැහිල්ල. හේරා හැංගීම ආදී නම් වලින් බජාර් එකේ උන් මෙය අඳුන්වන අතර බීඩිකාරයන් හෙවත් තැරුව්කාරයන් යොදා මෙම සූදුව මෙහෙයවන්නේ කොළඹ බෝ ගහ පෙනෙන මානයේ ලොකු හෝටලයක්‌ හිමි කෝටිපතියෙකු බව ප්‍රසිද්ධ රහසකි. පිටකොටුවේ කවුරුත් දන්නා විමලේ ද තම ගෝල බාලයන් දම්මවා කාලයක්‌ තිස්‌සේ කොළ තුන ගැස්‌සවූ අතර ඒ තුළින් ලක්‍ෂ ගණන් මුදල් උපයා ඇත. විමලේ සතුව තිබූ කොළ තුනේ අධිකාරියට අභිsයෝග කරමින් තමන්ගේ ගෝලයන් දමා හරස්‌ වීදි වල ගේම ගැස්‌සවූ මන්ජල් සරා වෙඩි වරුසාවක්‌ මැද පරලොව ගියද මේ වන විට පොඩි පොඩි සිල්ලර වැඩකාර කල්ලි කීපයක්‌ ඒ වැඩේට අත ගසා ඇත. කොළ තුන ගහන්නේ මෙසේය.

පදික වේදිකාවේ එහෙ මෙහෙ ඇදෙන ජනයා අතර අඩි දෙකක්‌ පමණ උස පකිස්‌ පෙට්‌ටියක්‌ හෝ ඇටවූ කුඩා ලෑලි තට්‌ටුවක්‌ තබා ඒ මත කොළයක්‌ එළා ඇත. හොඳින් ඇඳ පැළඳ ගත් කීප දෙනෙකු පෙට්‌ටිය වටා රොක්‌ වී සිටී. කරදාසි කාඩ් කුට්‌ටමකින් වෙන් කැර ගත් කොළ තුනක්‌ බාස්‌ හෙවත් ඔට්‌ටුකරු විසින් එහෙ මෙහෙ කරමින් සෙල්ලමක්‌ පෙන්වයි. කොළ තුනෙන් දෙකක්‌ ඉලක්‌කම් සහිත ඒවා වන අතර අනික රූප කොළයකි. ඔට්‌ටුකරු කරන්නේ යන්තරයක්‌ වැනි වූ තම ඇඟිලි තුඩු වලින් කොළ තුන එහෙට මෙහෙට මාරු කොට රූප කොළය ඒ අතර සඟවා හැකිනම් පෙන්වන ලෙස වටේ ඉන්න අයට අභියෝග කිරීමයි. වටේ ඉන්න අයගෙන් බහුතරයක්‌ බීඩිකරුවන් හෙවත් එම කණ්‌ඩායමේම තැරුව්කාර සාමාජිකයන්ය. ඔට්‌ටුකරුගේ චාටු ආකර්ෂණීය බස්‌ අසන පදික වේදිකාවේ ගමන් කරන්නකු මඳක්‌ නැවතී ඕනෑකමෙන් මෙම සෙල්ලම නිරීක්‍ෂණය කිරීමට පැකිළෙන්නේ නැත. ඔහුට පේන අන්දමට මෙය ඉතාමත් සරල ලේසි ක්‍රීඩාවකි. මඳක්‌ බලා සිටින මඟියාට පෙනෙන්නේ සැඟවූ රූප කොළය සෙවීම ඉතා පහසු කටයුත්තක්‌ බවයි. එමෙන්ම වටේ සිට ඔට්‌ටු අල්ලන්නන්ද දහස්‌ ගනන් මුදල් දිනන බව දකින ඔහු නොපැකිළ මුලින් රුපියල් පනහක්‌ සීයක්‌ වැනි මුදලකින් සූදුවට අනුගත වෙයි. සැඟවූ රූප කොළය හරියටම පෙන්වුව හොත් ඔහුට ඔට්‌ටු කරුගෙන් දෙගුණයක්‌ මුදල් ලැබේ. පැරදුණොත් සතයක්‌ වත් නැත. නමුත් කිසි විටකත් මුල් වට කීපය තුළ පදික මඟියා පරදින්නේ නැත ඔහු දිගට හරහට අත් දෙක තුනක්‌ දිනයි. නැතහොත් බලහත්කාරයෙන්ම ඔට්‌ටුකරු විසින් රූප කොළය සැඟවීම ලෙහෙසි කර මොහුව දිනවනු ලබයි. ජයෙන් උද්දාම වෙන හෙවත් ඇන්දෙන අහිංසකයා මෙවර විශාල මුදලක්‌ ඔට්‌ටු මුදල ලෙස අල්ලයි. අති සුක්‍ෂම ලෙස රූප කොළය (දෙකට පළා) මැදින් ගලවා ඉලක්‌කම් කොළයක්‌ අලවා ඇති නිසා මෙවර නම් ඔට්‌ටුකරු පිළිවෙළට තම ග්‍රාහකයාව පරද්දනු ලබයි. විශාල මුදලක්‌ පරදින පුද්ගලයාට එතැනින් කරබාගෙන පිට වී යනවාට වඩා දෙයක්‌ කළ නොහැක. මක්‌නිසාද ඔහු ඔට්‌ටු ඇල්ලුවේ තම කැමැත්තට නිසාය. ග්‍රාහකයා කට සැර කචල් කාරයෙක්‌ නම් ඔහුව එළවා දැමීමට ඉදිරිපත් වන්නේ අවට සිටින තැරුව්කරුවන්ය.

ඒ "පොලිස්‌සියෙන් පොලිස්‌සියෙන්, මහත්තයො පොලිස්‌සියෙන් එනව" දුවන්න...· දුවන්න.....· කියා පෙට්‌ටි හා කාඩ් කුට්‌ටම් පොදි බැඳගෙන සියල්ලලෝම පැන දිවීමෙනි.

ඉලාස්‌ටික්‌ ගැහිල්ල යනු තවත් ජල්තරයකි, මෙයද බොහෝ දුරට ඉහත සඳහන් කොළ තුන ගැහිල්ලට සමාන වෙයි. පිටකොටුව, ඇස්‌වාට්‌ටුව, සලාකා ඉදිරිපිට, රිජන්ට්‌ වීදියේ, මහ රෝහල් පරිශ්‍රය ආශ්‍රිතව මෙම මගඩිය බහුලව දක්‌නට ලැබේ. තාප්පයකට හෝ ලයිට්‌ කණුවකට එක්‌ පයක්‌ ගසා අනික්‌ කකුලෙන් සිටගෙන ආකර්ෂණීය ලෙස,

" ආ මේවයි.... මේවයි... ගමේවය... ඒවයි... ඔන්න හැංගුවා මෙන්න හැංගුවා ඇල්ලුවොත් දිනුම් ඇල්ලුවොත් දිනුම්" ලෙස කෑගසමින් මගඩිකරු පාරිභෝගිකයින් තම ග්‍රහණයට නතු කැර ගනී. ඔහු අතේ ඇති සිහින් ඉලාස්‌ටික්‌ පටිය මුරුක්‌කුවක්‌ ලෙස වටේට සුරුණ්‌ඩු කරමින් තව සිහින් කොණ්‌ඩා කටුවක්‌ පෙන්වා ඉන් එහි මැදට ඇන ඉලාස්‌ටික්‌ පටියේ හරි මැද සොයන ලෙස අභියෝග කරයි. මුලින් මුලින් දිගට හරහට දිනන මඟියාගේ ඇස ඉතා සූක්‍ෂම ලෙස වසා දමමින් හොර දෙටුවා කොණ්‌ඩ කටුව සැණින් ඉලාස්‌ටික්‌ පටියෙන් පන්නා දමා ඔහුව පරාජය කරයි. පනහෙන් සීයෙන් පටන් ගෙන දෙතුන් දහස දක්‌වා ඉහළට ගෙන ආ ඔට්‌ටු මුදලද එකවර පරදින පදික මඟියාට අසරණව මුවින් නොබැණ පිටවී යන්නට සිදුවෙයි. යම් හදිසි අවස්‌ථාවක්‌ වුවහොත් පොලිසියෙන් එන බවට කෑ ගසමින් දසත පුරා විසිරී යන්නට මෙම හොර කණ්‌ඩායම අති දක්‍ෂය. පාසල් යන (කට්‌ටි පනින) කාලයේ පටන් මාත් මෙම ඉලාස්‌ටික්‌ ගැහිල්ල නිරීක්‍ෂණය කර ඇති අතර මගේ ගුරා වූයේ රීජන්ට්‌ වීදියේ බන්ධු අයියායි. ඔහු තම සාත්තරය අකුරක්‌ නෑර ගුරු මුෂ්ටිය නොතියා මට ඉගැන්වූවේය. මා කුඩා කල අප පවුලේ උත්සව අවස්‌ථාවකදී, මරණ ගෙදරකදී, හෝ විනෝද චාරිකාවක්‌ ගිය කල, නෑ හිතවතුන් ඉදිරියේ ඉලාස්‌ටික්‌ සෙල්ලම කර මුදල් උපයන්නට ගොස්‌ තාත්තාගෙන් ගුටි කෑ හැටිද මට දැන් මතක්‌ වෙයි.

කෙළින් වීදියේ ඉස්‌ටේෂම ඉදිරිපිට මහ රෝහල අසල කෙරෙන තවත් මගඩියකි බණ්‌ඩල් දැමිල්ල. පිරිසිදුව සුදු සරමකින් හා අත් දිග කමිසයකින් සැරසුණු වැදගත් පාට අයෙක්‌ සෙනඟ අතරින් වේගයෙන් ඉදිරියට ගමන් කරයි. ඔහු ළඟ එනම් ඔහුගේ ඉනේ හෝ බඩතුරේ තිබී බණ්‌ඩලයක්‌ හෝ ලොකු ලියුම් කවරයක්‌ බිමට පතිත වෙයි. මෙය දකින්නේ මෝඩ පහේ මැදි වයසේ ගැහැනියක්‌ හෝ තවත් එවැනි කාන්තාවක්‌ පමණි. (හෙවත් දකින්නට සලස්‌වන්නේ) වැටෙන බණ්‌ඩලය අයිතිකරු එතැනින් නොපෙනී යන අතර දකින කාන්තාව එය අහුලා ගනී. එසේත් නැත්නම් සැණින් එතැනට පැමිණෙන තවත් අයෙක්‌ මෙම බණ්‌ඩලය අහුලා ගෙන එය මෙම කාන්තාවගේ අත් බෑගය තුළට දමා ගන්නා ලෙස හෝ හැට්‌ටය අස්‌සේ ඔබා ගන්නා ලෙස පවසයි. එමෙන්ම මෙවැන්නක්‌ දුටු බවවත් කාටවත් නොකියන ලෙස ඇයට තදින් පවසයි. මෙවිට එතැනට යළි පැමිණෙන්නේ බණ්‌ඩලයේ අයිතිකරුය. ඔහු කලබලයෙන් යමක්‌ සොයන බව අඟවමිවන් වැටුණු බණ්‌ඩලයේ ඇති මුදල් ප්‍රමාණය මෙපමණ යෑයි අවට සිටින අයට පවසයි. බෙහෝ විට එම ගණන රුපියල් විසි තිස්‌ දාහ පැන ඇත. නැත්නම් ලක්‍ෂයකි. ඔහු පවසන අන්දමට එම මුදල් ගෙනැවිත් ඇත්තේ හරකකු හෝ එළුවකු මස්‌ සඳහා මිලදී ගෙන ගමට යන්නටයි. ඒ කියන්නේ මොහු මුස්‌ලිම් මස්‌ කඩකාරයෙකි. බණ්‌ඩල් අයිතිකරු එය නොලැබ පිට වී ගිය පසු අහුලන්නට උදව් වූ අය කාන්තාවට මෙසේ කනට කර පවසයි.

"අක්‌කෙ මිනිහ ආයෙ එන්නෙ නෑ. ආවත් මහ පව්කාරයෙක්‌ අහිංසක සතෙක්‌ බේරුණා අපි නිසා. මේක ලොකු චාන්ස්‌ එකක්‌ අක්‌ක ඕක තියා ගන්න මේ දවස්‌වල සල්ලිත් අමාරු ඇතිනේ. මට ඔන්න ඔහේ කීයක්‌ හරි දෙන්න බස්‌ එකේ යන්නයි දවල්ට කන්නයි. හැබැයි බණ්‌ඩලේ එළියට අදින්න එපා. මිනිස්‌සු දකී ඒක නිසා ඔයාගේ අතේ තියෙන ඒවගෙං කීයක්‌ හරි දෙන්න. සල්ලි නැත්නං ඔය මාලෙ හරි වළල්ලක්‌ හරි ගලෝල දෙන්න. මම කීයකට හරි විකුණ ගන්නං"

මේ මිනිහගේ ඉල්ලීම හරිම සාධාරණ බව දකින ගැහැනිය තමා අත ඇති මුදලක්‌ හෝ රන් බඩුවක්‌ හොරෙන්ම ඔහුට මිට මොළවයි. එය ගන්නා මනුස්‌සයා පවනට බඳු වේගයෙන් පලා යයි. ආරක්‍ෂිත ස්‌ථානයකට ගොස්‌ බණ්‌ඩලය ලිහා පරික්‍ෂා කරන ඇය දකින්නේ එහි ඇත්තේ හතරැස්‌ව මුදල් නෝට්‌ටු ප්‍රමාණයට කපන ලද පත්තර කොළ බවයි. දෙපැත්තට පමණක්‌ ව්‍යාජ මුදල් නෝට්‌ටු දෙකක්‌ තබා රබර් පටියක්‌ දමා ඇත. (මරදානේ පෝබස්‌ රෝඩ් එකේ සිට කිරුළපන කූඹි කැලේට පදිංචියට ආ උස ඩගී බණ්‌ඩල් ඔස්‌තාර්වරයෙකි. මම එක්‌ දිනක්‌ පමණක්‌ ඔහු සමඟ ඇස්‌ වාට්‌ටුවේ බණ්‌ඩල් දමා ඇත. අද නගරයේ විසිරී සිටින්නේ ඩගීගේ ගෝලයන් කීප දෙනෙකි)

බඩු පලයං සල්ලි වරෙන් කියන ජල්බරි සෙල්ලම කරන්න එසේ මෙසේ අයෙකුට බැරිය. ඒ සඳහා මුඛරිකම ඉක්‌මනින් අතැඟිලි එහෙ මෙහෙ කිරීමේ හැකියාව සහ තීක්‍ෂණ බුද්ධියක්‌ තිබිය යුතුය. කෙහෙල්වත්තේ සිරිලයන් සහ කාපිරි මුඩුක්‌කුවේ සනී මේ සඳහා ප්‍රවීණයෝය. ඔවුන්ට වැඩිපුරම අහුවන්නේ රෙදි කඩ වල අලුතින් වැඩට ආ ළාබාල කොලු ගැටව් සහ පලතුරු තට්‌ටු වල වැඩට එන ඈත ගම් වල වතුකරයේ නවකයන්ය. එසේම හොඳට මෝරපු ගොයියන් ගොරකයන්ටද සිරිලයන්ලා, සනීලා මැජික්‌ පෙන්වති. ඒ මෙසේය.

"ආ මල්ලී තියන්න රුපියල් දහයක්‌ මේ ඩයරිය අස්‌සෙන්. දැන් පොත වහන්න මෙන්න මෙහෙම. කියන්න මලක නමක්‌ හිතාගන්න පාටක්‌. දැන් ඩයරිය අරින්න බලන්න. දහය විස්‌ස වුණා නේද? ආයෙත් තියන්න ඒ විස්‌ස. හිතාගන්න පුසුඹක්‌ දැන් අරින්න බලන්න ඔය තියෙන්නේ විස්‌සට හතළිහක්‌ .... මොකද තියමුද සීයක්‌ හරි පන්සීයක්‌ හරි. අන්න නියමයි මල්ලි වාසනාවන්තයා බය නැහැ ඇඹරෙන්නේ නැහැ .ඔන්න.... බඩු පලයං සල්ලි වරෙන් වාන්.... ටූ.... මෙන්න මල්ලි එනවා පොලිස්‌සියෙන් මාරු වෙමු මාරු වෙමු. බඩු පලයං සල්ලි වරෙන් අපි දුවමු පස්‌සෙ සල්ලි දෙන්නං...

ඒ බඩු පලයං සල්ලි වරෙන් කරන හැටිය.

මොරේ දැමීම යනුවෙන් බජාර් එකේ ගෙවන් වීදී බාසාවෙන් හැඳින්වෙන්නේ බොරුවට මීමැස්‌මොර හෝ අපස්‌මාර රෝගියකු ලෙස හැසිරී අවට සිටින්නනගේ අවධානය හා අනුකම්පාව ලැබ එමගින් කීයක්‌ හෝ ආධාර ලබා ගැනීමයි. මෙසේ කරන්නට හුරුවී සිටින අය විසිදෙනකු පමණ අද අප හඳුනාගෙන සිටින අතර ඔවුන් හවස්‌ වරුව වන විට තැන් තැන් වල විසිරී මීමැස්‌මොර රෝගියකු ලෙස රඟපා මහජනයා රවටා මුදල් සොයා ගනී. දිව යට සබන් කෑල්ලක්‌ සඟවා ගෙන කෙළ සමඟ එය මුසු කර කටින් පෙණ දමන බව ඇඟවීම මීට බොහෝ කලකට පෙර මොවුන් යොදා ගත් උපක්‍රමයක්‌ වන අතර අද ඔවුන් මුවින් පෙණ දැමීම සඳහා මොරේ පෙති පාවිච්චි කරයි. (මොරේ පෙති යන්නට වෙනත් රසායනික ඖෂධ නාමයක්‌ ඇති මුත් බජාර් එකේ උන් මෙනමින් එය අමතයි)

සෙම කෙළ පෙණ පෙරාගෙන මහ මඟ වැටී දඟලන මෙම පුද්ගලයා අත සිලි උරයක හෝ එවැනි මල්ලක දැමූ හාල් හුණ්‌ඩුවක්‌, එළවළු ජාති දෙක තුනක්‌, පාන් භාගයක්‌ වැනි දේ තිබෙන අතර ඒවා හැම තැනම විසිරී යන ලෙස ඉතා දක්‍ෂ ලෙස මොහු හැසිරෙයි. මේ සාධක දකින ඕනෑම අයෙක්‌ රැවටී ඔහුට වහා යකඩ කැබැල්ලක්‌ අතට දී සිහි ගන්වන්නට උත්සුක වෙයි. ඉන්පසු විසිරී ගිය ආහාර මල්ල වෙනුවට අලුතින් දේ ගැනීම සඳහා ඔහුට හොඳ සම්මාදමක්‌ අවටින් එකතු වෙයි.

මතට ඇබ්බැහි වූ තරුණයන් විසින් වැඩිපුරම කරන්නාවූ මගඩියකි ලොන්තෙ දැමීම. කොළඹ නගරය තුළ බහුලව දකින්නට ඇත. මතට ඇබ්බැහි වූ අය අන්තිම අවස්‌ථාවට ආවිට මෙම ක්‍රමය මගින් සල්ලි හොයා ගනිති. මෙය හිඟා නොකා හිඟා කෑමකි. ලොන්තෙ දාන අය කිසිදිනෙක මහත්තයා නෝනා හෝ සර් කියා තම සේවාදායකයන් අමතන්නේ නැත. ඔවුන් ඒ වෙනුවට අයියා, මල්ලී, අක්‌කා, නංගී, මාමා, නැන්දා, මිස්‌ටර්, මිස්‌, බොස්‌, මැඩම් යනුවෙන් මහ මඟ මඟියන්ව අමතති. ඔවුන් පවසන අන්දමට ඒජන්සියට මුදල් බැඳීමට රැකියාවක්‌ සඳහා සම්මුඛ පරීක්‍ෂණයකට, ලෙඩෙක්‌ බැලීමට මහ රෝහලට හෝ පාස්‌පෝට්‌ එක ගැනීමට ගමෙන් කොළඹ නගරයට ආ අයෙකි. පික්‌පොකට්‌ ගසා හෝ වෙනත් එවැනි වංචාවකට අසුව තමුන්ගේ මුදල් පසුම්බිය හෝ අත් බෑගය මේ දැන් නැතිවී තිබේ. දැන් නැවත ගමට යාමට අවශ්‍යයි.

"අතට සල්ලි එපා අයියා. බස්‌ එකට නග්ගලා ටිකට්‌ එක අරන් දෙන්න ප්ලීස්‌"

ඒ අසරණ වූ ඔවුනගේ අහිංසක ඉල්ලීමයි. මෙහි වංචාවක්‌ හෝ ප්‍රොaඩාවක්‌ නොදකින නගරයට ආගන්තුක ගැමියාගේ හිත වහා උණුවී ඔහු ඒ අසරණයාව අසල කඩයකට රැගෙන ගොස්‌ තේවතුර පවා ඇරගෙන දී ගමට යැමට අවශ්‍ය මුදල මිට මොලවයි.

ඉල්ලන්නා ගැන කුඩා හෝ සැකයක්‌ ඇතිවුණ හොත් සමහර විට ඔහුව බස්‌ රථයක්‌ වෙතට ගෙනගොස්‌ අසුනක ඉන්දවා කොන්දොස්‌තර අතටම මුදල් දෙන මානව හිතවාදීන් ද අප රටේ ඇත. මෙය මගඩිකරුට එතරම් ප්‍රශ්නයක්‌ නැත. මන්ද ඔහු කරන්නේ කොන්දොස්‌තරගෙන් එම මුදල හෝ ඉන් වැඩි කොටසක්‌ යළි ඉල්ලාගෙන ඊළඟ නැවතුමෙන් බැස යළි තම රස්‌සාව පටන් ගැනීමයි.

නගරයට එන අය මැදියම් රාත්‍රියේ පිටකොටුව පාළු වීදී වල හක්‌කලං කරද්දී ඔවුන්ව සල්ලාල කමට පොළඹවා සුර සැප දෙන බවට පොරොන්දුවී වසා දමා ඇති කඩයක්‌ පිටුපසට හෝ කඩ කාමරයක බිත්තියකට හේත්තු කළ ලෑලි පළු දෙකක්‌ අස්‌සට රැගෙන ඔහුගේ කලිසම බලෙන්ම මෙන් ගලවා ඉණ ඉහ අතගාගෙන "මෙන්න වනචර කමට එනෝ" කියා කෑ මොර දෙන අම්මණ්‌ඩිලා ද මෙහි අඩු නැත.

නුගත් ගැමියන් පමණක්‌ නොව නගරයේ මෙවැනි ගැට වලට හසුව දහස්‌ ගණන් මුදල් නිකරුණේ ගැහැණුන්ට පූජා කළ බොහෝ දෙනා අවම වශයෙන් ළඟම පොලිසියට වත් පැමිණිලි නොකර පාඩුව විඳගෙන යන්නට යන්නේ තමා අතද වරදේ කෙටසක්‌ ඇති බව හොඳාකාරව දන්නා නිසා විය හැක. නිවාඩුවට ගම්බිම් බලා යන ත්‍රිවිධ හමුදා භටයන්, රෑ මුරය අවසන්ව ගෙදර යන හෝටල් හා කැසිනෝ වල වැඩ කරන නොමේරූ තරුණයන්, සංගීත ශිල්පීන්, අවසන් බස්‌ රථය මඟ හැරී පිටකොටුවේ රැය ගෙවන්නට සිදු වූ මඟියන් වැනි බොහෝ දෙනෙක්‌ මෙලෙස මෙම මගඩිකරුවන්ට අසුව නගරයේ නන්නත්තාරව කැරකෙනු දැකීම අපට නම් සුලබ කරුණකි.

තුන්මුල්ල, බෙම්මුල්ල අළුබෝමුල්ල හෝ වනාතමුල්ල වැනි නගර බොහෝ අයට හුරු වුවත් පෙම්මුල්ල නමැති තැන සමාජයට පැමිණ වැඩි කලක්‌ නැත. පෙම්මුල්ල ලෙසින් අද හඳුන්වන්නේ වායු සමනය කරන ලද නගරාන්තර අධි සුඛෝපභෝගී බස්‌ රථ වල ඇති පිටුපසම ඇති ආසන වල කෙළවර කොණයි. මෙය නොනිල වශයෙන් වෙන් වී ඇත්තේ තරුණ පෙම්වතුන්ගේ අසංවර ප්‍රේමාලිංගන වලට බව අප දන්නා කරුණකි.

නමුත් බසයට මුලින්ම ගොඩවී මේ පෙම්මුල්ලේ කොණක අසුන්ගෙන නිදා වැටෙන සරාගී පෙනුමක්‌ ඇති තරුණ හෝ මැදිවියට ළංවූ කාන්තා පිරිසක්‌ ද සිටී. ඇඟෙහි රත්‍රන් පැළඳ යමක්‌ කමක්‌ ඇති බව පෙනෙන අයෙක්‌ බසයට ගොඩ වෙද්දී ඉඟි බිඟි පා තමුන් වෙතට කැඳවා ළඟින් වාඩිකරවා ගැනීමට මේ අය අති දක්‍ෂය. කිටි කිටියේ හිරවුණු කෙටි සායට පහළෙන් දිස්‌වෙන කළවා යුගලයට ගැඹුරට හෑරුණ හැට්‌ට කරෙන් එළියට පනින්නට දඟළන පිරිපුන් දෙතනට ලොල් බැඳ ආලේපිත රන් අබරණ හා මුහුණේ වත්සුනු ආටෝපය හරහා එන මුකුළු සිනාවට රැවටී ඇය ළඟින් වාඩි නෙවෙන්නේ රහත් බවක්‌ ලැබූ හෝ ජීවිතයේ බොහෝදුරට කෙලෙස්‌ නැසූ බ්‍රහ්මචාරියකු පමණි. කෙසේ වෙතත් එසේ වාඩිවූ තැනැත්තාට අන්තිමට සිදු වන්නේ බසය අවසාන වන තැනින් සුද්දෙටම සුද්ධ වී බැස යන්නටයි. ඒ ද කොන්දොස්‌තර මල්ලීගේ අවදි කිරීම නිසයි. පියවි සිහිය ආවිට ඔහුට මතක්‌ වන්නේ ඒ තරුණිය ළඟ අසුන් ගත් බවත් මඳ වෙලාවකට පසු ඈ හා කථාවට වැටුණු බවත් ඇඟට ඇඟ ස්‌පර්ශ වූ බවත් ඇය දුන් චොක්‌ලට්‌ පෙත්ත හෝ චුවින්ගම් කෑල්ල කටේ දා ගත් බවත් පමණි. සිංහලයා යනු ඉක්‌මනින්ම ඕනෑම දෙයක්‌ අමතක කර දමන ජාතියක්‌ බව පිරබාහරන් කියා ඇතැයි අප අසා ඇත. ත්‍රස්‌වාදියකු කියන දෙය අපි විශ්වාස නොකරමු. නමුත් අමතක වන ගතිය සිංහලයාට පමණක්‌ නොව මනුෂ්‍ය වර්ගයාටම පොදු රෝගී තත්ත්වයක්‌ නිසා නැවත නැවතත් අපි මගඩිකාරයන්ට අසුවෙමු. ජල්තර වලට ගොදුරු වෙමු අපි කොච්චර වැඩකාරයෝ වුණත් හැම තත්පරයෙම අපි කාට හරි වචනයකින් හරි අහු වෙනව කියා මගේ මිතුරෙක්‌ වරක්‌ මට පැවැසීය. ඔහු කීවා හරිය. හරියටම පසුගිය මහ ඡන්දය දින රාත්‍රියේ ගැට කපන්නකු මගේ සාක්‌කුවේ තිබී රුපියල් හත්දාහකට විද්දේය. එමෙන්ම මගේ ළඟින්ම නිතර ඇති මගේ ඩිජිටල් කැමරාව අරන් එකෙක්‌ පැන්නේ ගිය ඉරිදාය. ඔහු එය විනාඩි කීපයක්‌ ඇතුළතදී රත්මලානේ දුම්රියපළ අසල ත්‍රීවිල් රියදුරෙකුට උකස්‌ කර තිබුණි. මැරකමට කුප්‍රසිද්ධ ගම්පහ දිස්‌ත්‍රික්‌කයේ දේශපාලනඥයෙකුගේ ගෝලයෙක්‌ යෑයි කියන මේ පාතාල සාමාජික ත්‍රීවිල්කරුවා උකස්‌ ගත් මගේ කැමරාවට ජල්තරය දැමීමට උත්සාහ කළද දින දෙකක්‌ තුළදී අපේ දෙපා මුලටම මගේ කැමරාව ගෙන්වා ගන්නට මට හැකිවිය. මා මේවා කියන්නේ ඉඳහිට අපද මගඩි වලට අහුවන බව කියන්නයි.

මේ උත්සව සමය නිසා නගරයට එන අය බොහෝ පරිස්‌සම් විය යුතුය. ඔබ අහුවන ගැටයට බොහෝ විට වග කියන්නට වන්නේ ඔබටම පමණි. සමහර පොලිසි වල අය කියන්නේ හොරාව පෙන්නන්න. එහෙමත් නැත්නම් බඩු තියෙන තැන කියන්න. අපි අරන් දෙන්නං කියාය. (හැමෝමත් එහෙම නැත) ප්‍රතිකාරයට වඩා පෙර වැළැකීම හොඳ බව නැවත කියමි.

මිත්‍ර ශ්‍රී කරුණානායක

5 comments:

  1. Niyama. post ekak.....elakiri

    ReplyDelete
  2. මේක නං නියම පෝස්​ට් එකක්! පස්සෙ කියවනවා.

    ReplyDelete
  3. ඇත්තටම නියම post එකක්.. ජය වේවා!!!

    ReplyDelete

Total Pageviews

Advertise