Showing posts with label අධ්‍යාපන. Show all posts
Showing posts with label අධ්‍යාපන. Show all posts

Friday, July 8, 2011

මූලික සුදුසුකම් සපුරා නැතත් 20කට සරසවි වරම්

විශ්වවිද්‍යාලවලට ඇතුළත් වීමට අවශ්‍ය මූලික සුදුසුකම් සපුරා නැති පාරම්පරික දැනුම සහිත සිසුන් විසිදෙනකුට මෙවර විශ්වවිද්‍යාල වරම් ලබා දීමට උසස් අධ්‍යාපන අමාත්‍යංශය පියවර ගෙන ඇත. මේ සිසුන් ආයුර්වේද, ක්‍රීඩා, චිත්‍ර, නැටුම් හා සංගීත යන විෂයයන් සඳහා බඳවා ගැනෙන අතර මේ අය බඳවා ගැනීම සඳහා වූ විශේෂ ගැසට් නිවේදනය ඉදිරි දින කිහිපය තුළ නිකුත් කිරීමට බලාපොරොත්තු වන බව උසස් අධ්‍යාපන ඇමැති එස්. බී. දිසානායක මහතා පැවැසීය.
එක් විෂයකට සිසුන් පස් දෙනා බැගින් මොවුන් ඇතුළත් කර ගැනෙන අතර මෙරට විශ්වවිද්‍යාල ඉතිහාසයේ ප්‍රථම වරට මෙවැනි වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බැවින් මෙය ඉතාමත් වගකීමෙන් හා විනිවිද භාවයෙන් සිදුකළ යුතුව ඇතැයි ද ඇමැතිවරයා කීවේය. මෙතෙක් ඉතිහාසයේ කිසිම දිනෙක දේශපාලන බලපෑම් මත සිසුන් ඇතුළත් කර ගත් බවට චෝදනාවක් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසන් සභාවට එල්ල වී නොමැති බැවින් එම තත්ත්වය රැක ගනිමින් මේ බඳවා ගැනීම සිදු කරන බවත් දිසානායක මහතා අවධාරණය කළේය.

Monday, June 27, 2011

මෙරට IT රැකියා, සියයට සියයකින් ඉහළට

ජාතික තොරතුරු තාක්ෂණ ශ්‍රම බලකා සමීක්ෂණයෙන් හෙළිවන තොරතුරු මෙන්න
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ නියාමන හා ඇගයීම් අංශය විසින් සිදුකර තිබෙන ජාතික තොරතුරු තාක්ෂණ ශ්‍රම බලකාය පිළිබඳ නවතම සමීක්ෂණයේ තොරතුරු අනාවරණය කර තිබේ. මේ අනුව,පසුගිය සිව් වසර තුළ මෙරට තොරතුරු තාක්ෂණ අංශයේ රැකියා ප්‍රමාණය සියයට සියයක වර්ධනයක් සිදුවී තිබෙන අතර 2006 දී එම අංශයේ රැකියා කළ ප්‍රමාණය වූ 30120 ක්වූ ශ්‍රමික සංඛ්‍යාව මේ වනවිට 62,000 ඉක්මවා වර්ධනය වී තිබෙන බව මෙම සමීක්ෂණයේදී හෙළිකර ඇත.
2010 වසරදී මෙරට තොරතුරු තාක්ෂණ අංශයේ රැකියා කළ ප්‍රමාණය 50,000 ඉක්මවා තිබුණි.
රාජ්‍ය ආයතන 80 ක්, පෞද්ගලික ආයතන 325 ක්, තොරතුරු තාක්ෂණ ව්‍යාපාර ක්‍රියාවලි බාහිරකරණයේ යෙදී සිටින ආයතන 30 ක්, තොරතුරු තාක්ෂණය පුහුණු කරන ආයතන 75 ක්, මෙම සමීක්ෂණය සඳහා සහභාගී කරගෙන තිබේ.
මෙම සමීක්ෂණයට අනුව ව්‍යාපාර බාහිරකරණ අංශයේ රැකියා සඳහා කාන්තා නියෝජනය ඉහළ යමින් තිබෙන බව අනාවරණය වී තිබෙන අතර එය සියයට 43 ක පමණ වර්ධනයකි.
2010 වසරේදී මෙරට තොරතුරු තාක්ෂණ උපාධිධාරීන් ගණන 4473 ක් බවත් එයින් 3970 දෙනෙකු රැකියාවල යෙදී සිටින බවත් ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ ප්‍රධාන විධායක නිළධාරී, රොෂාන් දේවපුර මෙම සමීක්ෂණය පිළිබඳව අදහස් දක්වමින් කීය.
හෙතෙම වැඩිදුරටත් පැවසුවේ මේ වනවිට තොරතුරු තාක්ෂණ කර්මාන්ත මගින් ලංකාව වසරකදී ඩොලර් මිලියන 375 ක පමණ අපනයන ආදායමක් ලබන බවත් එය අපනයන අංශයේදී විදේශ විනිමය ඉපයීමේ පස්වන ස්ථානයේ තිබෙන බවයි.

Saturday, May 21, 2011

ඔසප්වීම සහ රුධිර වහනය

මාස ශුද්ධ වීම හෙවත් ආර්ථවය සිදුවන විට රුධිරය වහනය වීම සාමාන්‍ය තත්ත්වයකි. මෙය අසාමාන්‍ය ලෙස සිදුවන අවස්‌ථා ඇත. සාමාන්‍ය නිරෝගී කාන්තාවකට මාස ශුද්ධ වීම දින 21 ත් 35 ත් අතර චක්‍රාකාරව සිදුවේ. මෙහිදී රුධිර වහනය දින 5-7 ත් අතර කාලයක්‌ පැවතීම සාමාන්‍ය දෙයකි. මසකට රුධිරය 25 පක ත් 80 පක ත් අතර ප්‍රමාණයක්‌ පිට වේ. මෙලෙස චක්‍රාකාරව සිදුවන රුධිර වහනය 80 පක ට වැඩිවීම හෝ දින 7 කට වඩා වැඩි කාලයක්‌ රුධිරය පිටවීම අසාමාන්‍ය ලෙස සැලකේ. පිටවන රුධිර ප්‍රමාණය දළ වශයෙන් තමාට තීරණය කල හැකි වේ. මෙවැනි තත්ත්වයක්‌ ඔබට ඇත්නම් වහාම වෛද්‍යවරයකු හමුවිය යුතුය. මෙලෙස රුධිරය අධික ලෙස පිටවීම ඕනෑම කාන්තාවකට පීඩාකාරී තත්ත්වයකි. විශේෂයෙන්ම රැකියාවක යෙදෙන කාන්තාවකට ඉමහත් අපහසුකාරි තත්ත්වයන්ට මුහුණ දීමට සිදුවිය හැක. ඊට අමතරව කලක්‌ තිස්‌සේ ශරීරයෙන් රුධිරය පිටවීම නිසා නීරක්‌තිය හෙවත් ලේ හිඟකම ඇතිවිය හැකත මෙම තත්ත්වය ඇති වුවහොත් මහන්සිය, හතිය, ක්‌ලාන්තය, හිසරදය, ශරීරයේ දුර්වල ගතිය වැනි රෝග ලක්‌ෂණ දැකිය හැකිය.

සරසවි සිසුන්ට හමුදා කඳවුරුවල පුහුණුවක්‌ දීමේ වැඩසටහන සතියකින්වත් කල් දැමිය හැකිද? -ශේ්‍රෂ්ඨාධිකරණය-


රජයේ විශ්වවිද්‍යාලවලට ඇතුළු වීමට සුදුසුකම් ලබා සිටින සිසුන් දස දහසකට පමණ හමුදා කඳවුරු කීපයකදී සති 03 ක පුහුණුවක්‌ ලබාදීමට සැලසුම් කර ඇති වැඩසටහන ආරම්භ කිරීම අඩුම වශයෙන් සතියකින්වත් කල් දැමීමට හැකිද යන්න සලකා බලා ඒ පිළිබඳව මේ අවස්‌ථාවේදී ගතහැකි සුදුසු ක්‍රියාමාර්ගය පිළිබඳව අදාළ බලධාරීන්ට උපදෙස්‌ දෙන ලෙස ශේ්‍රෂ්ඨාධිකරණය ඊයේ (20 වැනිදා) නීතිපතිට නියෝග කළේය.



උසස්‌ අධ්‍යාපන අමාත්‍යාංශය සහ ආරක්‍ෂක අමාත්‍යාංශය ඒකාබද්ධව සංවිධානය කර ඇති එම වැඩසටහන අවලංගු කරන්නැයි ඉල්ලා ශිෂ්‍යයන්ගේ මානව හිමිකම් වෙනුවන් පෙනී සිටින සංවිධානයක්‌ ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සමේ පෙත්සම්කරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා කළ ඉල්ලීමක්‌ සලකා බැලීමෙන් අනතුරුව එම නියෝග නිකුත් කෙරිණ.


ආර්තවහරණය

ආර්තවහරණය එක වරම එක්‌ දිනකදී සිදුවන දෙයක්‌ නොවේ. මෙය කාලයක්‌ තිස්‌සේ ක්‍රමයෙන් සිදුවන්නකි. ආර්තවහරණයට සම්බන්ධ රෝග ලක්‌ෂණ මෙම කාලය තුළදී ක්‍රමයෙන් දැනෙන්න පටන් ගනී. රාත්‍රි කාලයට අධිකව දහඩිය දැමීම, මුහුණේ හා පපුවේ ඇතිවන දැවිල්ල, ලිංගික ආශාව අඩුවීම, තද මහන්සි ගතිය, ඇගපත වේදනාව, නින්ද යාමේ ඇතිවන වෙනස්‌කම්, මානසික දුර්වල හැගීම්, කම්මැලි ගතිය, පියයුරු වේදනාව, සිරුර තරබාරු වීම වැනි ලක්‌ෂණ මෙම තත්ත්වය සමග ඇති වේ. මේවා පිළිබඳ මනා අවබෝධයක්‌ ලබා ගැනීමෙන් ඒවායින් ඇතිවන අපහසුතා මග හරවා ගත හැක. 

Wednesday, April 20, 2011

ගොත ගැසීම මගහරවා ගන්නට මහරජු ගෙන් පාඩමක්‌


වසරේ හොඳ ම චිත්‍රපටය ලෙසින් මෙවර "ඔස්‌කාර්" සම්මානය හිමි වූයේ KING'S SPEECH චිත්‍රපටයට ය. ගොත ගැසීමේ සහජ ආබාධයට ගොදුරු වූ බ්‍රිතාන්‍යයේ හය වැනි ජෝර්ඡ් රජු එකී දුබලතාව ජයග්‍රහණය කළ අයුරු විදහා දැක්‌වෙන මෙකී විශිෂ්ට සිනමා කෘතිය වෙත අසීමාන්තික ප්‍රේක්‍ෂක අවධානයක්‌ යොමු ව ඇති බැව් මේ වන විට දැකගත හැකි ව තිබේ. 

KING'S SPEECH සිනමා කෘතිය ලොව පුරා අතිමහත් ජනාදරයට පත් වූයේ බ්‍රිතාන්‍යයේ හය වැනි ජෝර්ඡ් රජු මහජන දේශන පැවැත්වීමේ දී දැක්‌වූ සහජ සහ සත්‍යමය දුබලතාව ප්‍රබල සිනමාත්මක භාෂාවක්‌ ඔස්‌සේ ප්‍රේක්‍ෂකයා වෙත ඉදිරිපත් කිරීම හේතුවෙනි. එසේ ම එය හය වැනි ජෝර්ඡ් රජු ගේ සැබෑ ජීවිතය පදනම් කරගත්, සත්‍යවාදී සිනමා කෘතියක්‌ ද වෙයි. 

මෙකී චිත්‍රපටය තුළින් මහජන දේශනයක්‌, වඩාත් සාර්ථක හා චතුර ලෙසින් පැවැත්වීම පිළිබඳව පූර්වාදර්ශයන් රැසක්‌ ම, සියලු වර්ගයන්හි සන්නිවේදකයන් වෙත ලබා දෙනු ලබයි. පහත ගොනු කර දැක්‌වෙන්නේ මෙකී සිනමා කෘතිය තුළින් ප්‍රකාශිත එකී කරුණු ය. 

1. පොදු දේශනයක්‌ පැවැත්වීම පිළිබඳව කිසියම් අපහසුතාවකින් පෙළෙන්නේ නම් කිසිදු විටක දී හෝ ඒ සඳහා වූ උත්සාහය අත් නො හරින්න. ගැටලුව හඳුනාගැනීමත්, එය විසඳීම කෙරෙහිත් අවධානය යොමු කරන්න. තමන් හට ගැටලුවක්‌ පවතින බැව් පිළිගන්න. 

Saturday, April 16, 2011

ටියුෂන් තහනම

නූතන සමාජයේ ඕනෑම පුද්ගලයකුට නැතිවම බැරි උපකාරාත්මක සාධකයකි අධ්‍යාපනය. විවෘත සමාජය තුළ රැකියාවක්‌ කිරීමට දැනුම ලබා ගැනීමට. වෙනත් ප්‍රතිලාභ ලැබීමට මෙම උපකාරාත්මක සාධකය අත්‍යවශ්‍ය ය. මෙහිදී එම දැනුම ලබා ගන්නා වූ විවිධ මංමාවත් විවෘතව තිබුණත් විශේෂයෙන් පාසල් අධ්‍යාපනයට හිමි වන්නේ සුවිශේෂ ස්‌ථානයකි.

විවෘත සමාජය තුළ ජීවත් වීමේදී වටිනා කමක්‌ ලැබීමට, සුදුසුකමක්‌ ලැබීමට දැනුම ලබන්නට නිර්මාණය වූ මංපෙත් නිසා මෙහි යම් තරගකාරී රටාවක්‌ බිහි වී තිබෙනවා. 

විවෘත ආර්ථික රටාව තුළ සියල්ලට ම මිලක්‌ නියම වී ඇතිවා සේම අධ්‍යාපනය දෙන්නාටද, ලබන්නාටද එක්‌තරා ආකාරයකට මිලක්‌ නියම වී ඇත.

දවස පටන් ගන්න ආයුර්වේද උපදෙස්‌

මෙලොව ජනිත වන සෑම පුද්ගලයෙකුම ජීවිත කාලය තුලදී විවිධ ලෙඩ රෝග වලට ගොදුරු වීම ස්‌වභාවිකය. නමුත් නිතර නිතර අසනීපවීමට කිසිවෙකු කැමති නොවනු ඇත. රෝගවලට ගොදුරු නොවී නිරෝගී ජිවිතයක්‌ ගත කිරීමට හැකි නම් එය ඉතා භාග්‍ය සම්පන්නය.


එබැවින් රෝග වැළදීම ස්‌වභාවික වුව ද නිරෝගිකම රැකගැනීම සඳහා අනුගමනය කළ යුතු ක්‍රම වේදයන් මොනවාද යන්න පිළිබඳව අවබෝධයක්‌ ලබාගෙන ඒ අනුව තමන්ගේ දින චරියාව සකස්‌ කර ගත හැකි නම් බොහෝ දුරට ලෙඩ දුක්‌වලින් මිදී නිරෝගී ජීවිතයක්‌ ගත කළ හැක.


නිරෝගී ජීවිතයකට මග පාදා දෙන අගනා කරුණු රාශියක්‌ ආයුර්වේදය පෙන්වා දී ඇත. මෙහි සඳහන් වන එම අගනා කරුණු පිළිබඳව ඔබ ද සැලකිලිමත් වන්නේ නම් නිරෝගිකම රැක ගැනීමට එය පිටිවහලක්‌ වනු ඇත. දෛනිකව මෙම නිවැරදි පිළිවෙත් හුරු පුරුදු කර ගැනීමට ඔබත් උත්සාහ කර බලන්න.

පැලෝපීය නාළය තුළ ඇතිවන පිළිසිඳගැනීම්

කාන්තා ප්‍රජනක පද්ධතියේ ඉතා වැදගත් අවයවයක්‌ ලෙස පැලෝපීය නාළය හඳුන්වාදිය හැකිය. පැලෝපීය නාළ දෙකක්‌ ගර්භාෂයේ කෙළවර දෙකට සම්බන්ධ වී ස්‍රොaණියෙන් එළියට නිරාවරණයවීමක්‌ වේ. පැලෝපීය නාළයේ මූලික කාර්යවන්නේ ඩිම්බකෝෂයෙන් නිකුත් වන ඩිම්බ ගර්භාෂය කරා යොමු කිරීම සහ පැලෝපීය නාළය තුළදී එම ඩිම්බ ගර්භාෂය හරහා ඉහළට එන ශුක්‍රාණු සමග සංසේචනය වීම සඳහා සුදුසු පරිසරයක්‌ නිර්මාණය කිරීමයි. 

පැලෝපීය නාළය තුළ තිබෙනා කුහරය ඉතා සියුම් කුහරයක්‌ ලෙස පෙන්වාදිය හැකියි. අපි එය හඳුන්වාදෙනු ලබන්නේ කෙස්‌ ගහක තරම් ප්‍රමාණයක්‌ යනුවෙනි. 

සරසවි ඇදුරන්ගේ තීරණයට ගුරු සංගම් සහාය


ලබන අගෝස්‌තු මස පැවැත්වෙන අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස්‌ පෙළ විභාගයේ ඇගැයීම් ක්‍රියාවලියෙන් ඉවත් වීමට විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය ගෙන ඇති තීරණයට සහය පළ කරන බව ලංකා ගුරු සංගමය හා අධ්‍යාපන වෘත්තිකයන්ගේ සංගමය ප්‍රකාශ කරයි.

නිවේදනයක්‌ නිකුත් කරමින් මේ බව පවසන එම සංගම් එහි මෙසේද සඳහන් කර ඇත.

විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ වැටුප් අරගලයට විසඳුමක්‌ ඉල්ලා බලකරන ක්‍රියාමාර්ගයක්‌ ලෙස උසස්‌ පෙළ ඇගයීම් ක්‍රියාවලියෙන් මුළුමනින්ම ඉවත්වීමට තීරණය කර ඇත.

වැටුප් අරගල හමුවේ මුනිවත රකින රජයේ බලධාරීන්ගේ ඇස්‌ ඇරවීම සඳහා විශ්වවිද්‍යාල ආචාර්යවරුන් දරන ප්‍රයත්නයට කොන්දේසි විරහිතව සහාය පළ කිරීමට අප සංගම් ද තීරණය කර ඇති බව මෙයින් දන්වමු.

Tuesday, April 12, 2011

කුරුලෑ තද කිරීම භයානකයි !

කුරුලෑ කැඩීමෙන් සමෙහි වලවල් වැනි ස්‌වභාවයක්‌ ඇතිවන බව අපට දැකගත හැකිය. මෙම තත්ත්වයට හේතුව කුමක්‌ද?

කුරුලෑවලින් ඇතිවන වලක්‌ යනු කුරුලෑ කැළැලක්‌ වේ. යම් තැනක කැළැලක්‌ ඇතිවෙනවා යනු සාමාන්‍යයෙන් තිබිය යුතු පටකය ප්‍රදාහයට ලක්‌ වී රෝම කූපය සහ ස්‌නේහස්‍රාවී ග්‍රන්ථිය අඩංගු පයිලොසබේෂස්‌ යුනිට්‌ ලෙස හඳුන්වන ඒකකය සහ ඒ අවට තිබෙන පටකවලට හානි සිදුවී සාමාන්‍ය පටක නොමැතිවීමයි. එම සාමාන්‍ය පටක තිබූ ස්‌ථාන පිලිසකර වීම සඳහා කොලජන් තන්තු අවශ්‍ය වේ. මෙම කොලජන් තන්තු මේරීමේ ක්‍රියාවලිය හෙවත් මෝල්ඩ්වීමේදී කොලජන් තන්තු ඇති ප්‍රදේශ හැකිලීමකට භාජනය වේ. මෙම හැකිලීම නිසා එවැනි තැන් සමේ මට්‌ටමට වඩා පහළට ගමන් කරයි. එය සෙසු සමට වඩා ඇතුළට ඇදී යාමක්‌ ඇති වී කැළැලක්‌ ඇතිවේ. එවිට ඩිප්ප්‍රෙස්‌කාස්‌ හෙවත් ඇතුළට ගිය කුරුලෑ කැළැල් දැකගත හැකියි. එම නිසා කුරුලෑවල මූලික අවස්‌ථාව වන බ්ලැක්‌ හෙඩ්ස්‌ හෝ වයිට්‌ හෙඩ්ස්‌ අවස්‌ථාවලදී ප්‍රදාහයක්‌ ඇති නොවේ. එහි තැන්පත් වී ඇති තෙල් ස්‌වභාවිකවම එලියට ගොස්‌ ස්‌වභාවික ලෙස වැසී සුවවීමක්‌ වේ. එයට යම් ආකාරයකට තුවාලයක්‌ සිදුකරන්නට ගිය විට එය ප්‍රදාහයට ලක්‌ වී බැක්‌ටීරියා ගොස්‌ ආසාදනයට ලක්‌ වේ. මෙම ආසානයට ලක්‌වීම නිසා ඇතිවන ප්‍රදාහයේ ප්‍රතිඵලයක්‌ ලෙස රෝම කූපය සහ ස්‌නේහස්‍රාවී ග්‍රන්ථිය අඩංගු ඒකකය විනාශ වේ. ඒ විනාශවීම හේතුවෙන් කැළැල ඇති වේ. එම කැළැල ඇතුළට ගිය වලක්‌ ලෙස හඳුනාගත හැකිය.

කොමිඩෝන් එක්‌ස්‌ට්‍රැක්‌ටර් (Comedone Extractor) නැමැති උපකරණය මගින් බ්ලැක්‌ හෙඩ්ස්‌ සහ වයිට්‌ හෙඩ්ස්‌ ඉවත් කිරීම රූපලාවන්‍යාගාර තුළ සිදුකරයි. මෙසේ කිරීම සුදුසුද?

බ්ලැක්‌ හෙඩ්ස්‌ සහ වයිට්‌ හෙඩ්ස්‌වල ඇති ඝනීභවනය වූ ස්‌නේහය ස්‌වභාවිකවම ඉවත් වේ.

එක්‌ස්‌ට්‍රැක්‌ටර් නැමැති කුඩා උපකරණය මගින් කරනුයේ කුරුලෑව තිබෙනා තැනට මෙහි සිදුර ඇති කොටස තබා වටේට තද කිරීමෙන් කොස්‌ස ලෙස හඳුන්වන කොටස එළියට ගැනීමයි.

Saturday, April 9, 2011

දරුවෙකු නොමැතිවීමේ වරද පිරිමින්ටත්


මදසරුභාවය ස්‌ත්‍රී පුරුෂ දෙපාර්ශවයේ ම තිබෙනා ගැටලූවක්‌ විය හැක. නමුත් අප සමාජයේ මෙම වරද පටවා ඇත්තේ කාන්තාව පිටය. කාන්තාව මෙම වේදනාව විදගෙන සමාජයෙන් මුළුගැන්වී දුක්‌ විදියි. පුරුෂයන්ගේ ඇත්තේ වෙනස්‌ම හැසිරීමකි. බොහෝ පුරුෂයින් තුළ ඇත්තේ තමා නිරෝගී පුරුෂ ශක්‌තියකින් හෙබි සරු පුරුෂයන් යන හැඟීමය. මෙම පුරුෂ ශක්‌තිය හා සරුභාවය ගුණාංග 2 කි. පුරුෂ ශක්‌තිය යනු පුරුෂයෙකු ලෙස පෙනුමෙන් හා ක්‍රියාවෙන් ඇති වෙනසය. පුරුෂ භාවය යනු ගැබ් ගැනීමක්‌ ඇති කිරීමට පුරුෂයෙකුට ඇති හැකියාවයි. සාමාන්‍යයෙන් එක වරකට පිට කරනු ලබන ශුක්‍ර තරල ප්‍රමාණය 2 ml - 5 ml ත් අතර ප්‍රමාණයක්‌ වේ. එහි එක්‌ 1 ml          ශුක්‍රාණු මිලියන 20 ට වැඩි ප්‍රමාණයක්‌ තිබිය යුතු අතර ඒවාට වේගයෙන් පිහිනා යැමේ හැකියාව තිබිය යුතුය. සමහර පුරුෂයින් තුළ දැකිය හැකි ගැටලු වන්නේ එකදු ශුක්‍රාණුවක්‌වත් නොමැති වීම ශුක්‍රාණු ප්‍රමාණය අඩු වීම. ඒවායේ ක්‍රියාකාරිත්වය අඩුවීම සහ ව්‍යුහමය වශයෙන් ඒවා අස්‌වාභාවික වීමය. තවද ශුක්‍ර තරලයෙහි විෂබීජ තිබීමද ගැබ් ගැනීමට බාධා ගෙන දේ. ශුක්‍රාණු නිපදවීම සිදුවන්නේ වෘෂණ කෝෂ තුළ ය. ශුක්‍රාණුවක්‌ මෝරා ක්‍රියාකාරිත්වයෙන් එළියට පිටවීමට මාස 03 ක්‌ ගත වේ. මෙම ශුක්‍රාණු වෙනත් ග්‍රන්ථින් මගින් ස්‍රාවය වන තරල සමග මිශ්‍ර වී කුඩා නාලයක්‌ ඔස්‌සේ ගමන් කර පිටතට නිකුත් වේ. 

මෙම නාලවල අවහිරතා ඇතිවිට ශුක්‍ර තරලයට ශුක්‍රාණු මිශ්‍ර වීම සිදු නොවේ. එනම් ශුක්‍රාණු නිපදවීම සිදුවුවත් පිටතට නිකුත් වීම සිදු නොවේ. තවත් සමහර පිරිමින්ගේ විවිධ හේතුන් නිසා ශුක්‍රාණු නිපදවීම සිදු නොවන අවස්‌ථා ඇත. මෙය සමහර විට උපතින් ම සිදු වේ. ශුක්‍රාණු වල ප්‍රමාණය හා ගුණාත්මක භාවයට බලපාන කරුණු බොහෝ ඇත. මේ තත්ත්වය උපතේ පටන්ම තිබිය හැකිය. නමුත් පාරිසරිකව බලපාන සාධකද ඇත. දුම්පානය කෙලින් ම බලපාන සාධකයකි. රසායනික ද්‍රව්‍ය මෙම ක්‍රියාවලියට විෂකාරී වේ. එබැවින් නිතර රසායන ද්‍රව්‍ය ඇසුරෙහි රැකියාව කරන අවස්‌ථා සහ පරිසර දූෂණය පුරුෂ මඳසරුභාවයට දායක වි ඇති සාධක ලෙස පිළිගැනීමක්‌ ඇත. තද උෂ්ණත්වය වෘෂණ කෝෂවලට බලපාන විට ශුක්‍රාණු වල ගුණාත්මකභාවය අඩු වේ. ශුක්‍ර තරලයේ විෂබීජ තිබීමෙන්ද ශුක්‍රාණු වල ක්‍රියාකාරිත්වයට බාධා ඇතිවේ.

මඳසරුභාවය

සෑම විවාහපත් යුවළකගෙන් 7 න් 1 ක්‌ (1/7) දරුවන් ලැබීමේ අපහසුතාවයට පත්වන අතර මෙය මඳසරුභාවය ලෙස හැඳින්වේ. සාමාන්‍ය පවුලකට විවාහ වීමෙන් පසු දරුවකු පිළිසිඳ ගැනීමේ අවස්‌ථාව ඔවුන් විවාහ වී කොපමණ කල්ද යන්න සමඟ කෙළින්ම සම්බන්ධතාවයක්‌ ඇත. එනම් මාස 3 ක්‌ ඇතුළත ගැබ් ගැනීමේ අවස්‌ථාව ඇත්තේ 50% ට පමණි. නමුත් මාස 12 ක්‌ පමණ වන විට 90% ක්‌ පමණ ගැබ් ගැනීමේ අවස්‌ථාව ඔවුන්ට ඇත. මේ අනුව උපත් පාලන ක්‍රම භාවිත නොකොට සතියකට 2-3 වරක්‌ එක්‌වන යුවළක්‌ මාස 12 ක්‌ ගිය පසුත් ගැබ් නොගනී නම් සඳසරු තත්ත්වය ඇති බව අනුමාන කල හැක. මෙලෙස වෛද්‍ය උපදෙස්‌ සඳහා යැමට මාස 12 ක්‌ යනතුරු පමා කල යුතු නැති කොට්‌ඨාසයකුත් ඇත. එනම් අවු 35ට වැඩි කාන්තාවන්, ඔසප් වීම පිළිවෙලට සිදු නොවන අවස්‌ථා, ප්‍රජනන ඉන්ද්‍රියන්ට සම්බන්ධ වෙනත් රෝග තත්ත්වයන් ඇති විට, පුරුෂයාගේ වෘෂණ කෝෂවල ආබාධ ඇතිවිට ආදී අවස්‌ථාවලදී පමා නොවී වෛද්‍ය උපදෙස්‌ පැතීම යෝග්‍යයි. මදසරුභාවයේ දෙවර්ගයක්‌ ඇත. පිළිසිඳ ගැනීමක්‌ කෙදිනක හෝ සිදු වී ඇත්නම් එම ගැබ් ගැනීම සම්පූර්ණ තත්ත්වයට පත්වූයේ නැති වුවද එම තත්ත්වය දෙවනුව ඇති වූ මඳසරු තත්ත්වය හෙවත් මඳසරුභාවය ලෙස සැලකේ. මඳසරුභාවයට හේතුව පුරුෂයා හෝ කාන්තාව හෝ විය හැක. සමහර විට දෙදෙනාගේ ම ගැටලු තිබිය හැක. නැතහොත් දෙදෙනාගේ ම කිසිම සොයා ගත හැකි ගැටලුවක්‌ නැති මුත්, ගැබ් ගැනීම පමාවෙනවා විය හැක. මෙම තත්ත්වයද හඳුනා ගැනීම වැදගත් වන්නේ ඒ සඳහා විවිධ ප්‍රතිකාර ක්‍රම සාර්ථක විය හැකි බැවිනි.

ගැබ් ගැනීමක්‌ සඳහා අවශ්‍ය මූලික සාධක නම් 

ගුණාත්මකභාවයෙන් යුත් ශුක්‍රාණු 
නිවැරදි ප්‍රමාණය පිළිවෙලට මේරූ ඩිම්බ පිටවීම 
මෙම බීජ දෙවර්ගය මුණ ගැසීමට සුදුසු මාර්ගයක්‌ අවශ්‍ය බව 

පිරිමි දරුවන් වැඩිවියට පැමිණීම

ප්‍රජනන සෞඛ්‍ය පිළිබඳව බොහෝ දෙනා අතර ඇත්තේ අල්ප වූ දැනුමකි. ප්‍රජනන පද්ධතියේ ක්‍රියාකාරීත්වය මගින් මානව වර්ගයාගේ පැවැත්ම සිදුවේ. ස්‌ත්‍රී ප්‍රජනන පද්ධතියමෙන්ම පුරුෂ ප්‍රජනන පද්ධතියද මෙහිදී වැදගත් වේ. ප්‍රජනන පද්ධතියට අයත් අවයවයන් වල ක්‍රියාකාරිත්වය ගැන යහපත් තෘප්තියක්‌ හා ආරක්‌ෂිත ලිංගික ජීවිතයක්‌ තුළින් අප ජීවිත ආරථවත් කර ගැනීම සඳහා ප්‍රජනන සෞඛ්‍ය අධ්‍යාපනය දරුවන් වෙත හොදින් ලබාදිය යුතුය. ආහාර ජීර්ණ පද්ධතිය ශ්වසන පද්ධතිය මෙන් ම නොයෙක්‌ පද්ධතීන් අපගේ සිරුරේ ඇත. නමුත් පුළුල් හා තීරණාත්මක ලෙස අප ජීවිත වලට බලපානු ලබන්නේ ප්‍රජනන පද්ධතියයි. ශරීරයටත් මනසටත් බලපෑම් කරමින්, හැගීම්, ආශාවන් ශාරිරික අවශ්‍යතාවන් හා ආවේගයන් හසුරුවන ප්‍රජනන පද්ධතියේ ක්‍රියාවලිය මත ඇත්තෙන් ම ජීවිතයේ ගුණාත්මක බව රදා පවතී. ලිංගිකත්වය හේතුවෙන් ප්‍රජනන පද්ධතියේ ක්‍රියාවලිය කායික අවශ්‍යතා පමණක්‌ නොව ශෘංගාරය, සෞන්දර්යාත්මක සිතුවිලි පවා හසුරුවන්නේ මෙම ක්‍රියාවලිය මගින් ය. සදාචාරය යනු නිවැරදි අයුරින් ප්‍රජනන හැකියාව සකස්‌ කර ගැනීම යි.

සාමාන්‍යයෙන් ප්‍රජනනේද්‍රියන්ගේ වර්ධනය වැඩිවියට පැමිණීමේ දී සිදුවන ප්‍රධානම වෙනසකි. මෙහිදී නිරෝගි පුරුෂයෙකුගේ වෘෂණ කෝෂවල ප්‍රමාණය 18-20 mm පමණ වේ. මේවායේ ප්‍රධාන ක්‍රියාවලින් 2 ක්‌ සිදු වේ. එනම් හෝමෝන නිපදවීම හා පුරුෂ බීජ නිපදවීම යි. වැඩිවියට පැමිණීමේ ක්‍රියාවලිය ඇරඹීමෙන් වසරකට පසු පිරිමි දරුවෙකු පිට කරන උදෑසන මුත්‍රා සාම්පලය තුළ ශුක්‍රාණු දැකිය හැකි බව ඔප්පු වී ඇත. ඒ අනුව වයස අවුරුදු 13 පමණ වන විට පිරිමි දරුවෙකු තුළ සරු බව දැකිය හැකි නමුත් සම්පූර්ණ මේරූ බව ලැබීමට වයස අවුරුදු 14-16 පමණ විය යුතුයි. පුරුෂයින්ගේ ලිංගේන්ද්‍රිය අවට රෝම වැඩීම මේ සමග ඇරඹේ.

තෙල් මිල හා ලිබියානු අර්බුදය

කුත් සඳුදා වන විට ලෝක වෙළෙඳපොළේ තෙල් බැරලයක මිල ඩොලර් 108 ක්‌ පමණ විය. මාස 30 කට පමණ පසු තෙල් බැරලය ඉහළ ගිය උපරිම මිල මෙය විය. ලෝක තෙල් සම්පත ඉතිරිව ඇත්තේ තව වසර 40 කට පමණකැයි ගණන් බලා ඇත. ලෝකය වේගයෙන් ඉදිරියට යද්දී තෙල්වලට ඇති ඉල්ලුම ද ඉහළ යයි. එහෙත් මේ අවස්‌ථාවේ තෙල් මිල ඉහළ ගොස්‌ ඇත්තේ ලිබියාවේ ගඩාෆි පාලනයට එරෙහිව පැන නැගී ඇති කැරැල්ල නිසාය. නේටෝ සංවිධානයත් ගඩාෆිගේ හමුදාවන්ට ගුවන් ප්‍රහාර එල්ල කිරීම නිසා තෙල් මිල ඉහළ යන්නේ පුදුමාකාර වේගයෙනි. අරාබි ලෝකයේ දිගු කාලයක්‌ බලයේ සිටි නායකයන්ට එරෙහිව කැරැලිකාරීත්වය මුලින්ම පැන නැඟුණේ ටියුනීසියාවෙනි. බෙන් අලි පන්නා දැමීමෙන් පසු ඊජිප්තු වැසියෝ සති ගණන් කයිරෝ නුවර තහීර් චතුරශ්‍රයේ උද්ඝෝෂණය කර හොස්‌නි මුබාරක්‌ව පන්නා දැමූහ. ඊජිප්තුවෙන් පසුව ලිබියාවට ද ඉරානයට ද මේ උද්ඝෝෂණ රැල්ල පැතිර ගියේය. කෙසේ නමුත් ඉරානයේ උද්ඝෝෂණ වැඩි කලක්‌ පැවැතියේ නම් නැත. ඇමරිකාව නම් ඉරානයේ උද්ඝෝෂණකරුවන්ට කෙළින්ම සහාය පළ කළ ද එම විරෝධතා දින කිහිපයකින්ම නතර විය. කෙසේ වෙතත් තෙල් බැරලය ඩොලර් 108 කට වැඩිවූ පසු ටෙහෙරාන් නුවරදී මාධ්‍ය ඇමතූ ඉරාන ජනාධිපති මහමුද් අහමදිනිජාඩ් මහතා ප්‍රකාශ කර සිටියේ තෙල් බැරලය ඩොලර් 150 දක්‌වා ඉහළ යා හැකි බවයි. ඔපෙක්‌ රටවල් අතරින් දෙවැනියට වැඩියෙන්ම තෙල් අපනයනය කරන්නේ ඉරානය වන අතර ඔවුන් දිනකට තෙල් බැරල් මිලියන 4.2 ක්‌ වෙළෙඳපළට නිකුත් කරයි.

වයස 27 දී ලිබියාවේ පාලකයා වූ ගඩාෆිට අද දරුණු මහජන කැරැල්ලකට මුහුණදීමට සිදුව ඇත. 1981 සිට ඊජිප්තුවේ පාලකයාව සිටි හොස්‌නි මුබාරක්‌ ජනපති ධුරයෙන් අස්‌වූ දිනට පසුදා සිට ලිබියානු ජනතාව විශේෂයෙන් බෙන්නාසිහි වැසියෝ සිය පාලකයාට එරෙහිව උද්ඝෝෂණ ආරම්භ කළහ. බටහිර ලෝකය උඩින් ගඩාෆි සමග යම් සුහදතාවක්‌ ප්‍රකාශ කර තිබුණ ද යටි හිතින් ගඩාෆිට කැමැත්තක්‌ දැක්‌වූයේ නැත. එම නිසාම ලිබියානු නායකයාට කැරැල්ලක්‌ පැන නැඟුණු වහාම ඒ කැරැලිකරුවන්ට සහාය පළ කරන්නට ඇමරිකාව ප්‍රමුඛ බටහිර ලෝකය ඉදිරිපත් විය. මුලින්ම එක්‌සත් ජාතීන්ගේ සංවිධානය ලිබියානු ගුවන් කලාපය තහනම් ගුවන් කලාපයක්‌ ලෙස ප්‍රකාශයට පත් කළේ ගඩාෆිගේ ගුවන් හමුදාවන් විසින් කැරැලිකරුවන්ට එල්ල කරන ගුවන් ප්‍රහාර නවත්වන්නටය. එහෙත් දිගින් දිගටම ගුවන් ප්‍රහාර එල්ල වන්නට වූ නිසා ගඩාෆි පාලනයට එරෙහිව "Operation Odyssey Dawn" ආරම්භ විය.

Thursday, March 24, 2011

ඉක්‌මනට සුදුවෙන්න හදන්න එපා

ෆෙයාර්නස්‌ 

ෆෙයාර්නස්‌ ගැන අද බොහෝ යුවතියන් කාන්තාවන් කතා බහ කරනවා. ඒ නිසාම නොයෙක්‌ වර්ගයේ ෆෙයාර්නස්‌ වර්ග වෙළඳ පොලට එක්‌වෙමින් තිබෙන බවක්‌ පෙනෙනවා.

විටමින් E අඩංගු ෆෙයාර්නස්‌, මල්ටි විටමින් සහිත ෆෙයාර්නස්‌, විටමින් අඩංගු ෆෙයාර්නස්‌ යනුවෙන් ෆෙයාර්නස්‌ හඳුන්වනු ලැබීමක්‌ද දක්‌නට ලැබෙනවා. ඇත්තටම එහෙම ෆෙයාර්නස්‌ වර්ග ලෝකයේ කොහේවත්ම නෑ.

ෆෙයානස්‌වලින් සිදුවන්නේ මෙලනින් පාලනය කිරීමක්‌. මෙහිදී විශේෂයෙන් මතක තබා ගත යුතුවන්නේ වෙළෙඳපොලේ ඇති නොයෙකුත් බාල ෆෙයානස්‌ වර්ගවලට නොරැවටීමටයි. 


බ්ලීචිං සමට සුදුසු නැහැ

ඇතැම් ෆෙයාර්නස්‌ වර්ගවල බ්ලීචිං මිශ්‍රකර තිබෙනවා. මේවා සමට සුදුසු දේවල් නොවෙයි. ගලයිකොලයික්‌ ඇසිඩ් ඇතැම් අවස්‌ථාවල භාවිත වුනත් එය ඉතාම සුළු ප්‍රමාණයකින්. එය වැඩිවීම සුදුසුම නැහැ. වෛද්‍ය නිර්දේශ අනුව තමයි එවැනි දේ සමට භාවිත කළ යුතු වන්නේ.


අද ෆෙයාර්නස්‌ ආලේප කර හෙට සුදුවෙන්නද හිතන්නේ

බොහෝ යුවතියන් කාන්තාවන් සුදුවෙන්න හිතාගෙන නොයෙකුත් ෆෙයාර්නස්‌ වර්ග ආලේප කර සම නාස්‌ති කරගන්නා තත්ත්වයක්‌ අද දක්‌නට ලැබෙනවා.

අද ෆෙයාර්නස්‌ ආලේප කර හෙට සුදුවෙන්න තමයි බොහෝ දෙනා කල්පනා කරන්නේ. බ්ලීචිං වර්ග අඩංගු නම් එහෙම වෙන්න පුළුවන්. ඒත් ප්‍රතිඵල භයානකයි. සම රැළි වැටෙනවා. සම ගැලවී වියළි යන තත්ත්වයක්‌ මතුවෙනවා.

ඒ නිසා හරිම කල්පනාවෙන් තමයි ෆෙයාර්නස්‌ එකක්‌ තෝරාගත යුතු වන්නේ.

Saturday, March 19, 2011

යටි බඩෙහි වේදනාව

සෑම කාන්තාවක්‌ ම ජීවිතේ කිසියම් හෝ දවසක යටිබඩෙහි වේදනාව අත්විඳ ඇත. යටිබඩ නාභියෙන් පහල ඉන දක්‌වා පෙදෙසට සීමාවේ. මෙම වේදනාව කඩින්කඩ ඇතිවිය හැක. යුවතියක්‌ කාන්තාවක්‌ වනවිට මෙවැනි වේදනාවක්‌ ඇතිවීම සාමාන්‍ය දෙයකි. නමුත් මාස 6 වඩා වැඩි කාලයක්‌ පවතිනවිට මේ ගැන සොයා බැලීම වැදගත්ය.

මෙම වේදනාව ඇතිවන ආකාරය වෙනස්‌විය හැක. එය කෙටිකාලීන හෝ දිගටම පවතින වේදනාවක්‌ විය හැක. කඩින් කඩ ඇතිවිය හැකි අතර දවසේ එකම වේලාවක වුවද ඇතිවිය හැක. කෑමට පෙර හෝ පසු ඇතිවිය හැක. මුත්‍රා කිරිම මලපහ කිරීම සමග වේදනාව ඇතිවිය හැක. ඔසප් වීම සමඟ ඇතිවිය හැක. 

වේදනාව යනු අප්‍රසන්න හැඟීමකි. කාලයක්‌ පවතින විට මෙය මානසික ප්‍රශ්නයක්‌ බවට පත්වේ. බොහෝවිට මෙම තත්ත්වයට රෝග කාරකයක්‌ සොයා ගැනීමට අපහසු වේ. මෙම වේදනාවෙන් පෙළෙන කාන්තාවන්ගේ දෛනික ජීවිතය ඉතා කරදරකාරි වේ. බොහෝවිට රැකියාව කිරිම අපහසුවේ. ඵලදායිතාවයට අඩුවේ. පවුලේ මවක හෝ බිsරිඳක වශයෙන් කළයුතු රාජකාරි අපහසු වේ. මෙම වේදනාවේ හේතුව සොයා ගැනීමට නොහැකිවීම තවත් මානසික ප්‍රශ්නයකි.

මෙම කඩින්කඩ ඇතිවන යටිබඩෙහි වේදනාවට විවිධ හේතුන් තිබිය හැක. එන්ෙඩ්‍රාමෙටි්‍රයොසිස්‌ රෝගය මෙයින්, වැදගත්ම එකකි. තවද යටි බඩෙහි ඇති අවයවයන් වන ඩිම්බකෝෂ ගර්භාෂයට ආශ්‍රිතව ඇතිවන ගෙඩි විෂබීජ ඇතුලුවීමෙන් ඇතිවන ආසාදන නිසාද මෙවැනි වේදනාවන් ඇතිවේ. ඉතා තදින් වේදනාව ඇතිවන විට එය හදිසි තත්ත්වයක්‌ විය හැක. මෙවැනි වේදනාවක්‌ බොහෝවිට ශරීර අභ්‍යන්තරයේ සිදුවන බරපතල තත්ත්වයක පෙර නිමිත්තක්‌ විය හැක. 

වකුගඩු සහ මුත්‍රාශය ආශ්‍රිත පද්ධතියේ ඇතිවන රෝගී තත්ත්වයකින් මෙම වේදනාව ඇතිවිය හැක. මෙය විෂබීජ ඇතුල්වීමෙන් ඇතිවන ආසාදිත තත්ත්වයක්‌ විය හැක.

මෙවැනි තත්ත්වයකදී මුත්‍රා පිටකරන විට ඇතිවන වේදනාව, නිතරම මුත්‍රා පිට කිරිමට ඇති අවශ්‍යතාවය වැනි රෝග ලක්‌ෂණ දැකිය හැක. මේ සමඟම පිට කොන්දේ කැක්‌කුමද ඇතිවේ.

යෝනි මාර්ගයේ ඇතිවන විෂබීජ ආසාදනවලින් යටිබඩේ වේදනාවක්‌ ඇතිවන්නේ නැත. යෝනි මාර්ගයෙන් දියර පිටවීම, ගන්ධයක්‌ ඇතිවීම, සංසර්ගය වේදනාකාරිවීම මෙහිදී ඇතිවන රෝග ලක්‌ෂණයන් වේ. 

Friday, March 4, 2011

විද්‍යා පීඨ පුහුණු ගුරුවරුන් වෙනුවෙන් ජාතික පාසල්වල පුරප්පාඩු 2300 ක්‌

ජාතික අධ්‍යාපන විද්‍යා පීඨ පුහුණුව අවසන් කළ සිසුන් ගුරුවරුන් ලෙස බඳවා ගැනීම සඳහා ජාතික පාසල්වල පුරප්පාඩු 2300 ක්‌ පමණ පවතින බවට අධ්‍යාපන අමාත්‍යාංශයට තොරතුරු ලැබී තිබේ. 

විද්‍යා පීඨ පුහුණුව ලැබූ ගුරුවරුන්ට ලබන මාසයේදී නව පත්වීම් ලබාදීමට නියමිත අතර ජාතික පාසල්වල පවතින පුරප්පාඩු සඳහා මෙවර වැඩි පිරිසක්‌ අනුයුක්‌ත කිරීමට අධ්‍යාපන ඇමැති බන්දුල ගුණවර්ධන මහතාගේ අවධානය යොමු වී තිබේ. පසුගිය වසරේදී විද්‍යා පීඨ පුහුණු ගුරුවරුන්ගෙන් වැඩි පිරිසක්‌ පළාත් සභාවන්ට අයත් පාසල්වලට අනුයුක්‌ත කෙරිණි. මෙම තත්ත්වය යටතේ මෙවර වැඩි පිරිසක්‌ ජාතික පාසල්වලට අනුයුක්‌ත කිරීමට ඉඩකඩ තිබෙන බව අමාත්‍යාංශයේ නිලධාරියෙක්‌ පැවැසීය. 

නව පත්වීම් ලබාදීම සඳහා පළාත් පාසල්වල පවතින ගුරු පුරප්පාඩු ද අමාත්‍යංශයෙන් ලබා ගනිමින් පවතී.

Sunday, February 13, 2011

අමතක වෙන්නේ ඇයි?

සුජා පෙරමග බල බලා හිටියේ නිමල් එනතුරු නොඉවසිල්ලෙන්. දින ගණනාවක්‌ මුළුල්ලේ රෝගීව සිට සුජාට වෛද්‍යවරයා අළුතින් නියම කරන ලද ඖෂධය නගරයෙන් රැගෙන එන්නට ඇය මගින් මගට දැනුම් දුන්නා. ඒත්. නිමල් ගෙට ගොඩ වැදුනේ හිස්‌ අතින්.. සුජාට කේන්තියට වඩා දැනුනේ තමා පිළිබඳව අනුකම්පාවක්‌.

නිමල් තමන් පිළිබඳව දක්‌වන සැලකිල්ලේ තරම ගැන ඇයටම ඇය ගැන දුක හිතුනා.

"මම ඔයාට ඔය තරමට මතක්‌ කරලත් බේත් ටික අමතක වුනා. ඊටත් දොස්‌තර මේ බේත් ටික ඉක්‌මනටම ගන්න කිව්වත්,

එක වැඩක්‌ ද සුජා ඔළුවේ තියෙන්නේ...ඒත්.. නිමල් සැලකිල්ලක්‌ තියෙනවා නම් දෙයක්‌ අමතක කරන්න බෑ."

"අමතක කළා නෙවෙයි සුජා... අමතක වුනා. නිමල් නිදහසට කරුණු කිව්වා.

ඔය විදිහට ගියොත් ගෙදරට එන්න පාරත් අමතක වෙයි.." සුජා උපහාසයෙන් කිව්වා.

ඇත්තට ම අපට අමතක වෙන්නේ ඇයි යන්නට පිළිතුරු අපෙන්ම ප්‍රශ්න කළොත්.

දවස තුළ වූ පැය 24 නිසි පරිදි ගලපා නොගැනීම අමතක වීමට ප්‍රධාන හේතුවක්‌ විදිහට සලකන්න පුළුවන්. දවස තුළ අප කළ යුතු දේ පෙළ ගසා ගැනීම වැදගත්. මේ අතර පෝලිමට පිටස්‌තරව පැමිණෙන ප්‍රමුඛත්වය දිය යුතු සිදුවීම් තිබෙන බව අමතක කළ යුතු නෑ.

ඇත්තටම සුජාගේ ඖෂධ පිළිබඳව නිමල් තුළ පිළිවෙලක්‌ තිබුනා නම් ප්‍රමුඛත්වය දීමට අවශ්‍ය සිද්ධියක්‌. දවසේ අනෙකුත් රාජකාරි තුළ සිය බිරිඳගේ රෝගයට අවශ්‍ය ඖෂධ මිළට ගැනීම එතරම් අසීරු කටයුත්තක්‌ නොවෙයි. යන එන ගමනේදි ඒ සඳහා උවමනා තරම් ඉඩ තිබුනා. නමුත් නිමල්ගෙ සිත තුළ මේ ඉල්ලීමට එතරම් ප්‍රමුඛතාවක්‌ නොතිබුන නිසාවෙන් ම සුජාගේ ඉල්ලීම ඔහුට අමතක වුනා.

මේ අතර සුජාගෙ හිත තුළ තිබුන කලකිරිම නිසා ම වචන පිට වෙන්න ගත්තා. මම කියන දේ තමයි අමතක වෙන්නේ. වෙන කෙනෙක්‌ කිව්වා නම් ඉහ උඩ තියාගෙන ඉන්නේ.

Saturday, November 27, 2010

සමාජ යහපතට ලිංගික අධ්‍යාපනය නැතුවම බෑ !!!

අපේ රටේ දිනෙන්දින ඉහළ යන ස්ත්‍රී දූෂණ, ගබ්සා මෙන්ම ළමා අපචාර වලට ද හේතු වන්නේ ලිංගිකත්වය පිලිබඳ ඇති අල්ප දැනුම මෙන්ම ලිංගිකත්වය යන්න වරදවා වටහා ගැනීමයි. හැම පුරවැසියෙකුටම නිසි ලිංගික අධ්‍යාපනයක් ලැබේ නම් මිනිසා එය හුදු අනර්ථකාරී මෙවලමක් ලෙස නොව, මානසික හා කායිකව සුවයක් ලැබිය හැකි මානව අවශ්‍යතාවක් බවට හඳුනා ගනු ඇත.

Total Pageviews

Advertise