Sunday, February 13, 2011

අමතක වෙන්නේ ඇයි?

සුජා පෙරමග බල බලා හිටියේ නිමල් එනතුරු නොඉවසිල්ලෙන්. දින ගණනාවක්‌ මුළුල්ලේ රෝගීව සිට සුජාට වෛද්‍යවරයා අළුතින් නියම කරන ලද ඖෂධය නගරයෙන් රැගෙන එන්නට ඇය මගින් මගට දැනුම් දුන්නා. ඒත්. නිමල් ගෙට ගොඩ වැදුනේ හිස්‌ අතින්.. සුජාට කේන්තියට වඩා දැනුනේ තමා පිළිබඳව අනුකම්පාවක්‌.

නිමල් තමන් පිළිබඳව දක්‌වන සැලකිල්ලේ තරම ගැන ඇයටම ඇය ගැන දුක හිතුනා.

"මම ඔයාට ඔය තරමට මතක්‌ කරලත් බේත් ටික අමතක වුනා. ඊටත් දොස්‌තර මේ බේත් ටික ඉක්‌මනටම ගන්න කිව්වත්,

එක වැඩක්‌ ද සුජා ඔළුවේ තියෙන්නේ...ඒත්.. නිමල් සැලකිල්ලක්‌ තියෙනවා නම් දෙයක්‌ අමතක කරන්න බෑ."

"අමතක කළා නෙවෙයි සුජා... අමතක වුනා. නිමල් නිදහසට කරුණු කිව්වා.

ඔය විදිහට ගියොත් ගෙදරට එන්න පාරත් අමතක වෙයි.." සුජා උපහාසයෙන් කිව්වා.

ඇත්තට ම අපට අමතක වෙන්නේ ඇයි යන්නට පිළිතුරු අපෙන්ම ප්‍රශ්න කළොත්.

දවස තුළ වූ පැය 24 නිසි පරිදි ගලපා නොගැනීම අමතක වීමට ප්‍රධාන හේතුවක්‌ විදිහට සලකන්න පුළුවන්. දවස තුළ අප කළ යුතු දේ පෙළ ගසා ගැනීම වැදගත්. මේ අතර පෝලිමට පිටස්‌තරව පැමිණෙන ප්‍රමුඛත්වය දිය යුතු සිදුවීම් තිබෙන බව අමතක කළ යුතු නෑ.

ඇත්තටම සුජාගේ ඖෂධ පිළිබඳව නිමල් තුළ පිළිවෙලක්‌ තිබුනා නම් ප්‍රමුඛත්වය දීමට අවශ්‍ය සිද්ධියක්‌. දවසේ අනෙකුත් රාජකාරි තුළ සිය බිරිඳගේ රෝගයට අවශ්‍ය ඖෂධ මිළට ගැනීම එතරම් අසීරු කටයුත්තක්‌ නොවෙයි. යන එන ගමනේදි ඒ සඳහා උවමනා තරම් ඉඩ තිබුනා. නමුත් නිමල්ගෙ සිත තුළ මේ ඉල්ලීමට එතරම් ප්‍රමුඛතාවක්‌ නොතිබුන නිසාවෙන් ම සුජාගේ ඉල්ලීම ඔහුට අමතක වුනා.

මේ අතර සුජාගෙ හිත තුළ තිබුන කලකිරිම නිසා ම වචන පිට වෙන්න ගත්තා. මම කියන දේ තමයි අමතක වෙන්නේ. වෙන කෙනෙක්‌ කිව්වා නම් ඉහ උඩ තියාගෙන ඉන්නේ.


ඔය කියන්නේ අම්මට මම උවමනා දේ ගෙනත් දෙන එකනේ. ඔයාට ඒවා ගැන කථා කරන්න අයිතියක්‌ නෑ. ඒ මගෙ අම්මා... හරි. මම දන්නවා. අම්මට සලකන්න ඕන බව. අම්මා ගැන ඔයාගේ හිතේ ගරුත්වයක්‌ සැලකිල්ල තියෙන නිසාම ඒවා අමතක වෙන්නේ නෑ. මං ගැන තියෙන අඩු සැලකිල්ල නිසා තමයි හැම වෙලාවෙම අමතක වෙන්නේ. ඊටත් මං ඉල්ලුවේ අනවශ්‍ය දෙයක්‌ නෙවෙයි ලෙඩට බේත්.

නිමල්ගෙ හිත ටිකක්‌ මෙලෙක්‌ වුනා. ඇගේ කියමන තුළ කිසියම් සාධාරණ බවක්‌ තියෙනවා. අම්මා උදෙන්ම තමාට ලබා දෙන ලැයිස්‌තුව කිසිම දිනක අමතක නොවෙන්නේ දවසට කීප විටක්‌ම විටින් විට ඒ ගැන මෙනෙහි කරන නිසයි. නමුත් සුජා කියන දේ හැමදාම ඔහුගෙ මතකයෙන් ගිලිහී යනවා. මේ පිළිබඳව සුජා චෝදනාවෙන් කථා නොකරම විකල්ප මගින් අවස්‌ථාව පිරිමසා ගත්තා. නිමල්ගෙ අතපසුවීම පවුලෙ වැඩ කටයුතුවලට බාධාවක්‌ නොවුනේ ඒ නිසයි. එම සම්බන්ධතාවෙන් ඵල ප්‍රයෝජන ලබා ගත් නිසා නිමල් වගකීමෙන් මිදුන අතර සුජා විසින් ඔහු වෙතින් මග හැරෙන වැඩ කටයුතු භාර ගත්තා.

දෙන්නා අතර වූ මෙම හුරුව නිසාම සුජා ගැන වූ අවධානය අඩු වුනා. හෘදයංගම ලෙසින් වූ බන්ධනයක්‌ තිබුනා නම් කිසිදු ලෙස මෙවන් අතපසුවීමක්‌ නොවන බව අම්මාගෙ ඉල්ලීම් කෙසේ හෝ ඉටු කිරීම මගින් ඇය පෙන්වා දුන්නේ තමාට දක්‌වන අඩු තක්‌සේරුව ගැනයි.

පුතෙකුට වුව දුවකට වුව අම්මා තරමට උතුම් වස්‌තුවක්‌ නොමැති බව සම්පූර්ණ ඇත්තය. ඒ අතරම බිරිඳ ස්‌වාමිපුරුෂයා තුළින් පුද්ගලයෙකු යළි උපත ලබන බවත් අමතක කළ යුතු නෑ. යුතුකම්, වගකීම් අතරෙදි මෙම දෙපැත්තම එක පරිදි තුලනය කර ගැනීම අවශ්‍යයි.

මව් පියන් අමතක කොට පවුල මත රැඳෙන විට "අම්මද බිරින්දෑද ලොකු පුතුනේ නුඹට" යන ප්‍රශ්නය නගන්නට පුළුවන්. ඒ වගේම පවුල තුළ වූ යුතුකම් වගකීම් ගිලිහෙන විට නැන්දම්මා, ලේලි අතර විරසකයට ඉබේටම මුල පිරීමක්‌ සිදු වෙනවා. මේ නිසා ගැටුමට මුල පුරන මෙම අංශ දෙක මධ්‍යම ප්‍රතිපදාව වගේ ගලපා ගැනීම අවශ්‍යයෙන්ම සිදුවිය යුතුයි.

පුංචි පුංචි සිද්ධි පවුලක විශාල ගැටුම්වලට මුල පුරන නිසා ඉතා සියුම් ලෙස මේ අවස්‌ථාවන් ගැන තේරුම් ගැනීම ඉතාම වැදගත් බව අමතක කළ යුතු නෑ. පුංචි පුංචි අතපසුවීම් ගැන නොසලකා සිට එම අතපසුවීම් යලි යලිත් සිදුවී සිත තුළ අපැහැදීමක්‌ ගොඩ නගා ගනු වෙනුවට එම අතපසුවීම යළි සිදු නොවන තැන අපට නවතින්නට පුළුවන්නේද?


පුන්‍යා චාන්දනී ද සිල්වා

No comments:

Post a Comment

Total Pageviews

Advertise