Monday, August 15, 2011

රාජ්‍ය හා පෞද්ගලික ආයතනවලට මවුකිරි දීම් මධ්‍යස්‌ථානයක්‌ පිහිටුවීමට උපදෙස්‌ දීමේ අදහසක්‌


අමල් උඩවත්ත - විදුසර
"රටක්‌ සංවර්ධනය කරා යැමේ දී රටේ ජනතාව කායික මෙන්ම මානසික වත් නිරෝගී වීම අත්‍යවශ්‍යයි. මේ සඳහා අත්‍යවශ්‍ය මූලික ම පෝෂණය ලැබෙන්නේ මවුකිරිවලින්. මේ නිසා උපදින දරුවන්ට අවුරුදු 2ක්‌ යන තෙක්‌ හෝ මවුකිරි දීම මව ගේ යුතුකමක්‌" යනුවෙන් ලෝක සෞඛ්‍ය සංවිධානයේ විශේෂඥ වෛද්‍ය අනෝමා ජයතිලක මහත්මිය පැවසුවා ය.
ජුලි 28 වැනි දින කාසල් වීදියේ කාන්තා රෝහලේ පැවැති මාධ්‍ය හමුවේ දී තවදුරටත් අදහස්‌ දැක්‌වූ වෛද්‍ය ජයතිලක මහත්මිය, "ලෝකයේ මවක්‌ වැඩි ම කාලයක්‌ මවුකිරි දෙන රට ලංකාවයි. සියයට 85ක පමණ කාන්තාවන් ප්‍රතිශතයක්‌ මවුකිරි දීම සිදු කරනවා.
මේ රටේ සියයට 50කට ආසන්න සංඛ්‍යාවක්‌ විවිධ රැකියා කරන අය. ඒ නිසා රැකියා කරන ස්‌ථානයේ රැකියා කරන අවස්‌ථාවේ දී කිරි දීමට නොහැකි වුවත් කිරි දොවා ආරක්‌ෂා කර කාමර උෂ්ණත්වයේ තබා ගැනීමට හැකියාව තිබෙනවා ඒ නිසා රැකියා කරන මවුවරුන්ට තමන් රැකියා කරන ස්‌ථානයේ කිරි දෙවීමට ස්‌ථානයක්‌ වෙන් කිරීම අත්‍යවශ්‍යයි" යනුවෙන් පැවසුවා ය. පවුල් සෞඛ්‍ය කාර්යංශයේ අධ්‍යක්‍ෂ විශේෂඥ වෛද්‍ය දීප්ති පෙරේරා මහත්මිය අදහස්‌ දක්‌වමින් "කාමර උෂ්ණත්වය යටතේ මවුකිරි දින 6-8 අතර කාලයක්‌ තබාගන්න පුළුවන්. ශීතකරණයක තබාගත්තොත් මාස 3ක්‌ පමණ අපහසුවක්‌ නැති ව තියා ගන්න පුළුවන්. ඉතා ම ආරක්‌ෂාකාරී තත්ත්ව යටතේ අධිශීතකරණයක මවුකිරි අවුරුදු 1ක්‌ වුවත් තබාගන්න පුළුවන්.
ඒ නිසා අපි රාජ්‍ය ආයතනවලටත් පෞද්ගලික ආයතනවලටත් ආදර්ශයක්‌ හැටියට පවුල් සෞඛ්‍ය කාර්යංශය තුළ මවුකිරි දීමේ මධ්‍යස්‌ථානයක්‌ පිහිටුවීමට කටයුතු කරගෙන යනවා. අනාගතයේ දී අනෙකුත් රාජ්‍ය ආයතනවලට හා පෞද්ගලික ආයතනවලට මවුකිරි දීම් මධ්‍යස්‌ථානයක්‌ පිහිටුවන්න උපදෙස්‌ දීමට බලාපොරොත්තු වෙනවා" යනුවෙන් පැවසුවා ය. එක්‌සත් ජාතීන් ගේ සංවිධානයේ විශේෂඥ වෛද්‍ය දීපිකා ආටිගල මහත්මිය අදහස්‌ දක්‌වමින් "අනෙක්‌ රටවල් සමග සසඳන විට මවුකරි දීම අතින් ශ්‍රී ලංකාව සිටින්නේ ඉහළ ම ස්‌ථානයකයි. බොහෝ මවුවරුන නො දන්නවා වුවත් මවුකිරි දීමෙන් ලැබෙන ප්‍රතිශක්‌තිය දරුවා අනාගතයේ දී බෝ නො වන රෝගවලින් වළක්‌වා ගැනීමට හේතු වෙනවා. මෙය රටක අනාගත සංවර්ධනයට, මව පියා දෙදෙනා ම එක්‌ ව කරන ජාතික කර්තව්‍යයක්‌. ඒනිසා මවුකිරි දීමට මවට සහාය වීමත් උනන්දු කරවීමත් පියාට ද පැවරෙන වගකීමක්‌" යනුවෙන් පැවසුවා ය.

No comments:

Post a Comment

Total Pageviews

Advertise