Saturday, May 21, 2011

සරසවි සිසුන්ට හමුදා කඳවුරුවල පුහුණුවක්‌ දීමේ වැඩසටහන සතියකින්වත් කල් දැමිය හැකිද? -ශේ්‍රෂ්ඨාධිකරණය-


රජයේ විශ්වවිද්‍යාලවලට ඇතුළු වීමට සුදුසුකම් ලබා සිටින සිසුන් දස දහසකට පමණ හමුදා කඳවුරු කීපයකදී සති 03 ක පුහුණුවක්‌ ලබාදීමට සැලසුම් කර ඇති වැඩසටහන ආරම්භ කිරීම අඩුම වශයෙන් සතියකින්වත් කල් දැමීමට හැකිද යන්න සලකා බලා ඒ පිළිබඳව මේ අවස්‌ථාවේදී ගතහැකි සුදුසු ක්‍රියාමාර්ගය පිළිබඳව අදාළ බලධාරීන්ට උපදෙස්‌ දෙන ලෙස ශේ්‍රෂ්ඨාධිකරණය ඊයේ (20 වැනිදා) නීතිපතිට නියෝග කළේය.



උසස්‌ අධ්‍යාපන අමාත්‍යාංශය සහ ආරක්‍ෂක අමාත්‍යාංශය ඒකාබද්ධව සංවිධානය කර ඇති එම වැඩසටහන අවලංගු කරන්නැයි ඉල්ලා ශිෂ්‍යයන්ගේ මානව හිමිකම් වෙනුවන් පෙනී සිටින සංවිධානයක්‌ ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සමේ පෙත්සම්කරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා කළ ඉල්ලීමක්‌ සලකා බැලීමෙන් අනතුරුව එම නියෝග නිකුත් කෙරිණ.




යෝජිත පුහුණු වැඩසටහනට මතුකර ඇති විරෝධය ගැන උසාවියේ සැලකිල්ල යොමුවී ඇති බව දැනුවත් වීම සඳහා එම නියෝගවල සහතික පිටපත් උසස්‌ අධ්‍යාපන ඇමැතිට, එම අමාත්‍යාංශයේ  ලේකම්ට හා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ ලේකම්ට යවන ලෙසද ශේ්‍රෂ්ඨාධිකරණය රෙජිස්‌ට්‍රාර්වරයාට දැනුම් දුන්නේ ය.



පෙත්සම යළි සලකා බැලීම ලබන 24 දාට කල් තැබුණ අතර එදින උසාවියේ පෙනී සිටින ලෙස දන්වා වගඋත්තරකරුවන්ට නොතිසි යවන ලෙසද පෙත්සම්කරුට නියම කෙරිණ.



අධිනීතිඥ සාලිය පීරිස්‌ මහතා කියා සිටියේ එම පුහුණු වැඩසටහන ලබන 25 දා ආරම්භ කිරීමට නියමිතව ඇති බවයි. එය ක්‍රියාත්මක කිරීම වහාම නතර කරනු නොලැබුවහොත් පෙත්සමෙන් පලක්‌ නොවන බවත් ඔහු කීය. හමුදා කඳවුරකට ගොස්‌ සති 3 ක පුහුණුවක්‌ ලබන ලෙසත් ඊට සහභාගී නොවුවහොත් විශ්වවිද්‍යාලයට ඇතුළත් වීමට නුසුදුස්‌සකු බව කියමින් සිසුන්ට දැඩි බලපෑමක්‌ කර ඇති බවත් එවන් ක්‍රියාමාර්ගයක්‌ ගැනීම විවිධ හේතූන් නිසා ඊට සහභාගි විය නොහැකි හා සහභාගි වීමට අකැමැති අයගේ මූලික අයිතීන් බරපතළ ලෙස උල්ලංඝනය කිරීමක්‌ බවත් ඔහු කීය.



කේ. ශ්‍රීපවන්, චන්ද්‍රd ඒකනායක හා ආර්. කේ. සුරේෂ්චන්ද්‍ර යන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ ඊයේ මෙම පෙත්සම කැඳවන ලදී.



නීතිපති වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ රජයේ අධිනීතිඥ නෙරින් පුල්ලේ මහතා පෙත්සම්කරුගේa නීතිඥවරයා කළ ඉල්ලීමට තදින් විරුද්ධ විය.



ඔහු කියා සිටියේ මෙවර සරසවි වරම් ලබා සිටින සිසුන්ට විෂයයන් කීපයක්‌ පිළිබඳ මූලික දැනුමක්‌ හා ශාරීරික පුහුණුවක්‌ ලබාදී ම සඳහා සද්භාවයෙන් යුතුව සැලසුම් කර ඇති වැඩසටහන ආරම්භ කිරීමට ඉතා ආසන්නව ඇති අවස්‌ථාවක ඊට බාධාවන ක්‍රියාමාර්ගයක්‌ නොගත යුතු බවය.



සිසුන් දසදහසකට වැඩි සංඛ්‍යාවට එම වැඩසටහන පැවැත්වෙන මධ්‍යස්‌ථාන හා ගමන් සඳහා රැස්‌කර ගත යුතු භාණ්‌ඩ ඇතුළු විස්‌තර ලිතව දැනුම් දී ඇති බවත් රුපියල් කෝටියක පමණ රජයේ මුදල් මේ සඳහා වෙන් කර ඇති බවත් දුර බැහැර මධ්‍යස්‌ථාන පිහිටි පෙදෙස්‌බලා ඇතැම් සිසුන් මේ වනවිටත් පිටත්ව ගොස්‌ ඇති බවත් රජයේ නීතිඥවරයා කීය.



මෙහිදී වැදගත්කොට සැලකිය යුතු කාරණාවක්‌ හැටියට රජයේ නීතිඥවරයා සඳහන් කළේ මෙම වැඩසටහනට මේ වනතෙක්‌ සිසුන්ගෙන් හෝ දෙමව්පියන්ගෙන් කිසිම විරෝධයක්‌ ඉදිරිපත් වී නැති බවය.



මෙම වැඩසටහනට විරුද්ධව ශේ්‍රෂ්ඨාධිකරණයට පෙත්සම ඉදිරිපත් කරලා තියෙන්නේ මානව හිමිකම් සංවිධානයක්‌ යෑයි කියා ගන්නා රජයේ ලියාපදිංචි කොම්පැණියක්‌.



ශිෂ්‍යයෙක්‌ හෝ දෙමව්පියෙක්‌ මේ පෙත්සමට ගෑවිලාවත් නැහැ. ඇත්ත වශයෙන් පුහුණු වැඩසටහනට සහභාගි වීමට නියමිත සිසුන්ගේ දුක්‌ගැනවිල්ලක්‌, අකැමැත්තක්‌ මෙම පෙත්සමෙන් උසාවියට ඉදිරිපත්වෙලා නැහැ. ඒ නිසා පෙත්සම විභාගයට ගන්නේ වත් නැතිව අහක දැමිය යුතු බවට දැඩි ලෙස කියා සිටිනවා.



පුහුණු වැඩසටහන ආරම්භ කිරීමට ආසන්න වන තෙක්‌ පෙත්සම්කරුවන් බලාගෙන සිටියේ ඇයි? පෙත්සම ගැන වගඋත්තරකරුවන් වන උසස්‌ අධ්‍යාපන ඇමැති, එහි ලේකම්ට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ ලේකම්ට කල් තියා දැනුම් දීමක්‌ කරලා නැහැ. ඒ අයටත් මේ සම්බන්ධයෙන් ඇති අදහස්‌ ඉදිරිපත් කිරීමට අවස්‌ථාවක්‌ ලබාදිය යුතුයි.



පෙත්සම්කරුගේ නීතිඥ සාලිය පිරීස්‌- ස්‌වාමීනි මේ වැඩසටහන ගැන විස්‌තර අපට දැන ගන්නට ලැබුණේ මැයි 16 දා වෙබ් අඩවියකින්. 17 හා 18 නිවාඩු. මැයි 19 දා නඩුව ඉදිරිපත් කරන්න සිදුවුණේ ඒ නිසයි. ඒ නිසා හදිසි කාරණාවක්‌ හැටියට සලසා පෙත්සමෙන්a කර ඇති පැමිණිල්ල විභාග කරන ලෙස මා ඉල්ලා සිටිනවා.



පෙත්සම සලකා බැලීම ලබන 24 ට කල් තැබිණි.



නීතිඥ ජී. ජී. අරුල් ප්‍රකාශම් මහතා මගින් පෙත්සම ගොනු කර තිබිණි.

සරත් ධර්මසේන

No comments:

Post a Comment

Total Pageviews

Advertise