Saturday, May 21, 2011

ආර්තවහරණය

ආර්තවහරණය එක වරම එක්‌ දිනකදී සිදුවන දෙයක්‌ නොවේ. මෙය කාලයක්‌ තිස්‌සේ ක්‍රමයෙන් සිදුවන්නකි. ආර්තවහරණයට සම්බන්ධ රෝග ලක්‌ෂණ මෙම කාලය තුළදී ක්‍රමයෙන් දැනෙන්න පටන් ගනී. රාත්‍රි කාලයට අධිකව දහඩිය දැමීම, මුහුණේ හා පපුවේ ඇතිවන දැවිල්ල, ලිංගික ආශාව අඩුවීම, තද මහන්සි ගතිය, ඇගපත වේදනාව, නින්ද යාමේ ඇතිවන වෙනස්‌කම්, මානසික දුර්වල හැගීම්, කම්මැලි ගතිය, පියයුරු වේදනාව, සිරුර තරබාරු වීම වැනි ලක්‌ෂණ මෙම තත්ත්වය සමග ඇති වේ. මේවා පිළිබඳ මනා අවබෝධයක්‌ ලබා ගැනීමෙන් ඒවායින් ඇතිවන අපහසුතා මග හරවා ගත හැක. 


ශ්‍රී ලාංකික කාන්තාවන් බහුලව මෙම රෝග ලක්‌ෂණ ගැන උනන්දු නොවන නමුත් යුරෝපීය රටවල මේවා කාන්තා සායනයන්හි බහුලව අසන්නට ලැබෙන ගැටලුන්ය. මුහුණේ සහ පපුවේ ඇතිවන දැවිල්ල ක්‌ෂණිකවම ඇති වී තත්ත්පර 30 ට හෝ විනාඩි 5 දචක්‌වා කාලයක්‌ පැවති නැති වී යයි. මෙය බොහෝ විට දැනෙන්නේ සිරුරේ පූර්වභාගයේ ක්‌ෂණිකව ඇතිවන උෂ්ණත්වය ඉහළ යාමක්‌ ලෙසයි. හෘද ස්‌පන්දනය වැඩි වේ. බොහෝවිට මුහුණේ ගෙල ප්‍රදේශයේ සහ පපුව ප්‍රදේශයේ මේ තත්ත්වය ඇති වේ. මෙම රෝග ලක්‌ෂණ එක්‌ එක්‌ කාන්තාවන්ට වෙනස්‌ ආකාරයට ඇතිවිය හැක. මේ සමගම ඇතිවන තවත් ලක්‌ෂණයක්‌ වන්නේ අධික දහඩිය දැමීමයි. අසාමාන්‍ය ලෙස ඇඳ සිටින ඇඳුම් තෙමීයන තරම් තද දහඩියක්‌ විශේෂයෙන්ම රාත්‍රි කාලයේදී ඇති වේ. මෙම තත්ත්වය නිසා නින්දටද බාධා ඇතිවේ. ඉහත ලක්‌ෂණ දෙකම ස්‌වාභාවික ක්‍රම මගින් බොහෝ දුරට පාලනය කර ගත හැක. එනම් ජීවන ක්‍රමයේ ඇතිකර ගත යුතු වෙනස්‌කම්ය. වයසට ගැළපෙන පරිදි පෝෂණයත් ව්‍යායාමත් සකස්‌ කර ගැනීමෙන් මෙම ගැටලු වලට අමතරව වෙනත් සෞඛ්‍ය ගැටලුද මග හරවා ගත හැක. ආහාර ගැනීමේදී ප්‍රමාණවත් ලෙස ප්‍රොaටීන්, කෙඳි බහුල, පළතුරු , එළවළු , ධාන්‍ය වර්ග අඩංගු ආහාර ගත යුතු අතර මධ්‍යසාර භාවිතය, නිතර කෝපි බීම වැනි පුරුදු අත්හැරිය යුතුය. ව්‍යායාම කිරීම, දෛනික ජීවිතයේ අවශ්‍යම කොටසක්‌ කර ගත යුතුයි. මෙවැනි ජීවන රටාවේ වෙනස්‌ කිරීම් ඇතිකර ගැනීමෙන් සහ දහඩිය දැමිමට අනුකූල වන පරිදි පරිසරය වෙනස්‌ කර ගැනීමෙන් බොහෝ අපහසුතා මග හරවා ගත හැක. කපු ඇඳුම් භාවිතය, විදුලි පංකා, වායු සමීකරණ භාවිතයන් උෂ්ණත්වය පාලනය කර ගැනීම, රාත්‍රි කාලයේදී ජනෙල් විවෘතව තැබීම විකල්ප මේ සඳහා සුදුසුයි. මෙම තත්ත්ව ඇති වීමට හේතු වන්නේ හෝමෝන අඩු විම බැවින් එම හෝමෝන ඖෂධ ලෙස ලබාදීම මෙම තත්ත්ව මග හරවා ගැනීමට කෙරෙන සාර්ථක ප්‍රතිකාර ක්‍රමයකි.
දැඩි මහන්සි ගතිය, අමතක වන සුළු ගතිය, ලිංගික ආශාව අඩු වීම වැනි ලක්‌ෂණ පිළිබඳ අවබෝධයක්‌ ඇති කර ගැනීමෙන් සහ ඒ සඳහා පූර්ව සූදානමක්‌ ඇති කර ගැනීමෙන් බොහෝ දුරට විස¹ ගත හැක. දෛනික ජීවිතය ක්‍රමානුකූලව සකසා ගැනීම විනෝදාත්මක දේවල් වලට යොමු වීමෙන් සහ ක්‍රමවත් ව්‍යායාම තුළින් මේ සඳහා පිළියම් ලබා ගත හැක. ලිංගික සම්බන්ධතා සහ දෙදෙනා අතර ඇති සම්බන්ධතාවය මෙම අවදියේදී ඉතා වැදගත්ය. දරුවන් විවාහ වීමෙන් හෝ රැකියා සඳහා නිවසෙන් පිටවී යාම බොහෝ විට මේ අවධීයේදී සිදු වේ. මේ සියලූ හේතුන් සහ හෝමෝන බලපෑම් නිසා මානසිකව විවිධ වෙනස්‌කම් සිදුවනු දැකිය හැක. මේවාට හොඳින් මුහුණ දිය හැක්‌කේ ඒ පිළිබඳ මනා අවබෝධයක්‌ ඇතිකර ගැනීමයි. පවුලේ අනෙක්‌ අයගේද සහයෝගය මේ සඳහා ලබාගත යුතුයි. ඉහත කරුණු වලට අමතරව සමහර රෝගී තත්ත්වයන් මේ අවදියේදී බහුල විය හැක. එනම් නිතර මුත්‍රා පිට කිරීමේ අවශ්‍යතාවය මුත්‍රා පාලනය අපහසු වීම, තදින් සිනාසෙන විට කැස්‌ස වූ විට මුත්‍රා පිටවීම, යෝනි මාර්ගයේ වියළිභාවය , මේවා තමාට තදින් බලපාන්නේ නම් වෛද්‍යවරයෙකු මුණගැසී උපදෙස්‌ පැතීම සුදුසුයි. ආර්ථවහරණයත් සමග සිදුවන අස්‌ථින්ගේ වෙනස්‌කම් නිසා ඔස්‌ටියෝපොරොසිස්‌ නමින් හැඳින්වෙන අස්‌ථි තුනීවීමේ තත්ත්වයන් ඇතිවිය හැක. මෙහිදී අස්‌ථි බිදීයාමේ හැකියාව වැඩිවේ. මැණික්‌ කටුව, කොඳු ඇට පෙළ සහ උකුල් ඇටය ආශ්‍රිත අස්‌ථි වල මෙම තත්ත්වය බහුලව දැකිය හැක. මෙම තත්ත්වයට ප්‍රතිකාර කිරීම එය වළක්‌වා ගැනීමට වඩා අසීරුය. පෝෂණ ගුණයෙන් යුත් කැල්සියම් සහ විටමින් ඩී අඩංගු ආහාර ලබා ගැනීම ඉතා වැදගත්ය. එමෙන්ම සුදුස ව්‍යායාම නිතිපතා කිරීමද මෙම තත්ත්වය වැළැක්‌වීම සඳහා වැදගත්ය. තරුණ අවධියේදීට වඩා රුධිරයේ කොලෙස්‌ටරෝල් ප්‍රමාණය ආර්ථවහරණයත් සමග වැඩිවේ. මේ හේතුවෙන් හෘදයාබාධ සහ මොළයේ රුධිර වහනය, අංශභාගය වැනි රෝගී තත්ත්වයන් සඳහා ඇති ඉඩකඩ වැඩි වේ. ඉහත විස්‌තර කළ අයුරින් ජීවන රටාව වෙනස්‌ කර ගැනීමෙන් මේවා අඩු කරගත හැක. ආර්ථවහරණයෙන් පසු කෘත්‍රිමව හෝමෝන ලබාදීම මත බේදයකට තුඩු දුන් මාතෘකාවකි. එබැවින් හෝමෝන ප්‍රතිකාර ක්‍රම පිළිබඳව සහ ඒවායේ වාසි සහ අවාසි පිළිබඳවත් ඒවා තමාට අවශ්‍යද නැද්ද යන්න පිළිබඳව අවබෝධයක්‌ මෙම තත්ත්වයේ පසුවන කාන්තාවන් ලබා ගත යුතුයි. මේ සඳහා වඩා සුදුසු වන්නේ වෛද්‍යවරයෙකු මුණගැසී සාකච්ඡා කිරීමයි. 
වෛද්‍ය චම්පා නෙල්සන්






No comments:

Post a Comment

Total Pageviews

Advertise