Thursday, February 17, 2011

ඔසප්වීම සිදුවිය යුතුද?

ඔසප්වීම හෙවත් ආර්තවය ශරීරය අභ්‍යන්තරයේ සිදුවන පිරිසිදු වීමක්‌ ලෙස පැරැන්නෝ සැලකූ බැවින් ඔවුහු මෙයට "ඇඟ සුද්ද වීම" යන නම භාවිත කළහ. එසේ සිතන විට ඔසප් වීම පිළිවෙළට සිදු නොවීම ශරීරයට හානිකර භයානක තත්ත්වයක්‌ ලෙස සමහර කාන්තාවන් සලකතිs. මෙය සත්‍ය නොවේ. නමුත් ඔසප් වීම පිළිවෙළට සිදු නොවීම ගැබ් ගැනීමට උත්සහ කරන කාන්තාවකට නම් ප්‍රශ්නයකි. ඔසප් වීම පමාවීම හෝ අපිළිවෙළට වීම සමහර කාන්තාවන් තුළ දැකිය හැකි ගැටලුවකි. නිරෝගි තත්ත්වයන් යටතේද ඔසප් වීම පමාවන අවස්‌ථා ඇත. එනම් ගර්භනී අවධියේදී හා මව්කිරි දෙන අවධියේදී ඔසප් වීම පිළිවෙළට සිදු නොවේ. සමහර කාන්තාවන්ගේ ගර්භනී අවධියේදී මුල් සති 12 ඇතුළත වරින් වර ඉතා ස්‌වල්ප වශයෙන් රුධිර වහනය වනු දැකිය හැකිය. එම අවස්‌ථාවලදී වෛද්‍යවරයෙකු හමු වී ගර්භනී භාවය පරීක්‌ෂා කර ගැනීම වැදගත්ය. ඔසප් වීම ප්‍රමාද වී සති 2 ක්‌ ගිය විට මුත්‍රා පරීක්‌ෂා කිරීමෙන් ගර්භනීභාවය පරීක්‌ෂා කිරීමෙන් ගර්භනීභාවය තහවුරු කරගත හැකිය. දරු ප්‍රසූතියෙන් සති 10-12 ක්‌ පමණ යනතුරු ඔසප් වීම සිදු නොවීම සාමාන්‍ය දෙයකි. මවු කිරි දෙන මවකගේ මෙම කාලය මීට වඩා වැඩි වේ.


තවද වයස අවු. 45-50 පමණ වන කාන්තාවන්ගේ ආර්තවහරණයෙන් පසු ඔසප් වීම සිදු වන්නේ නැත. මෙයට අමතරව නිතරම කාන්තාවන් අතර දැකිය හැකි ඔසප් වීම පමා වීමට හේතුන් ගණනාවක්‌ ඇත. අධික මානසික ආතතියක්‌ අත්විඳින විට හෝ තද ශාරීරික පීඩනයකට පත් වූ විට ඔසප් වීම අපිළිවෙළ වීම සාමාන්‍ය සිද්ධියකි. එනම් විභාගයට සූදානම් වන යුවතියන් තද උණක්‌ හෝ එවැනි කායික රෝගයක්‌ ශල්‍යකර්මයකට පත් වූ, රුධිර වහනයක්‌ සිදු වූ විට, තද සිත් තැවුලක්‌ පත් වූ විට ඔසප් වීම තාවකාලිකව අපිළිවෙළ වේ. වැඩිපුර ව්‍යායාම කිරීම, ආහාර ගැනීම අඩු කිරීම එදිනෙදා දින චර්යාව වෙනස්‌වීම, පදිංචිය සඳහා වෙනත් රටකට යැම වැනි අවස්‌ථාවලදී ඔසප් වීම අපිළිවෙළ විය හැක. ගැබ් ගැනීම පිළිබඳ බිය පවා, ඔසප් වීම පමා විය හැකි මානසික පීඩනයකි. ඉහත සඳහන් හේතූන් නිසා ඇති වන ඔසප්වීමේ අපිළිවෙළ වීම, දෛනික ජීවිතය සාමාන්‍ය තත්ත්වයට පත් වූ විට නිවැරදි වේ. තවද සමහර ඖෂධ වර්ග නිසා මෙම තත්ත්වය ඇති විය හැකිය. උපත් පාලන පෙති පාවිච්චි කර නැවැත් වූ විට සමහර කාන්තාවන්ගේ ඔසප් වීම එකවරම නැවත පටන් ගන්නේ නැත. මෙම අපිළිවෙළභාවය දීර්ඝකාලීන හෝ කෙටි කාලීන විය හැක. ඉහත කී හේතුන් මත කෙටි කාලීන වශයෙන් මාසයක්‌ හෝ මාස කීපයක්‌ අපිළිවෙළ වීම, කලබල වීමට හේතුවක්‌ නොවේ. නමුත් දීර්ඝකාලීන වශයෙන් ඔසප් චක්‍රය නිරන්තරයෙන් අපිළිsවෙළට වන්නේ නම් ඒ සඳහා වෛද්‍ය උපදෙස්‌ ලබාගත යුතුය. එයට හේතුව වන්නේ, ඔසප් වීම අපිළිවෙළ වීම වෙනත් රෝගයක රෝග ලක්‌ෂණයක්‌ විය හැකිවීමයි. මේවා හඳුනාගෙන ප්‍රතිකාර කිරීමෙන් ඔසප් වීම හා සම්බන්ධ ගැටලු නිරාකරණය කර ගත හැකිය. විශේෂයෙන් ම ගැබ් ගැනීමට උත්සහ කරන කාන්තාවට මේ සමඟ ඩිම්බ පිටවීමේ ගැටලු ඇත්නම් ගැබ් ගැනීමට එය බාධාවකි.

ඔසප් වීම වැඩිපුර සිදුවීම, එනම් වැඩි වාර ගණනක්‌ සිදුවීම හෝ වැඩිපුර රුධිරය වහනය වීමද සමහර කාන්තාවන් තුළ දක්‌නට හැකි තත්ත්වයකි. මෙයද බොහෝ විට මානසික පීඩනයේ බලපෑමෙන් සිදුවන දෙයක්‌ විය හැක. නමුත් වෙනත් බරපතල රෝගී තත්ත්වයන්ගේ රෝග ලක්‌ෂණයක්‌ ලෙස වුවද මෙය සිදුවන බැවින් මෙවැනි අවස්‌ථාවල වෛද්‍යවරයෙකු මුණගැසීම කළ යුතුය. තව ද වැඩිපුර රුධිරය පිටවීමෙන් නීරක්‌තිය, යකඩ ඌනතාවය ඇතිවිය හැකිය. මෙවැනි තත්ත්වයන් නොසලකා හැරීමෙන් හෘද රෝග පවා ඇති විය හැකිය. මල්වර වීමත් සමඟ බොහෝ දැරියන් තුළ ආර්තව චක්‍රය ආරම්භ වීම සිදු වන්නේ නැත. මෙලෙසම කලාතුරකින් සමහර දැරියන්ගේ පළමු චක්‍ර කීපය තුළ තදින් රුධිරය වහනය වීමද දැකිය හැකිය. පසුව මෙය සාමාන්‍ය තත්ත්වයට පත්වේ. වයස යැමත් සමඟ කාන්තාවන්ගේ ඩිම්බ නිපදවීම ක්‍රමයෙන් හීන වේ. ඩිම්බ කෝෂවල ක්‍රියාකාරීත්වයද ක්‍රමයෙන් අඩුවී ශරීරයේ ස්‌ත්‍රී ලිංග හෝමෝන අඩුවේ. මේ සමඟ ආර්තවහරණය හෙවත් ඔසප් වීම නැවතීම සිදුවේ. සමහර කාන්තාවන්ගේ එකවරම සිදුවන අතර තවත් සමහරුන්ගේ ක්‍රමයෙන් අපිළිවෙළට වී පසුව සම්පූර්ණයෙන්ම නවතී. මෙම අවධියේදී ඔසප් වීමේ විවිධ වෙනස්‌කම් දැකිය හැක. බොහෝ විට මෙම වෙනස්‌කම් ආර්තවහරණයට සම්බන්ධ වුවද මෙම වයසේ පසුවන කාන්තාවන් අතර දැකිය හැකි වෙනත් බරපතල රෝග ගැන සොයා බැලීම වැදගත් ය. එබැවින් දිගින් දිගටම අක්‍රමවත් අයුරින් තදින් රුධිරය වහනය වන්නේ නම් වෛද්‍යවරයෙකු හමුවීමට වග බලා ගත යුතුයි.

වෛද්‍ය චම්පා නෙල්සන්

No comments:

Post a Comment

Total Pageviews

Advertise