Friday, February 11, 2011

අවසන් සටනේ යුද රහස්‌!

"එල්.ටී.ටී.ඊ. සංවිධානයට යුද්ධයක්‌ අවශ්‍යව නොතිබූ බව මාගේ පෞද්ගලික අවබෝධයයි. ඔවුන් යුද්ධයක නිරතව නොසිටි අතර යුද්ධයක නිරතව සිටියේ රජයයි. එල්.ටී.ටී.ඊ. ය යුද්ධයකට ඈ¹ ගනු ලැබුවේ ද මහින්ද රාජපක්‍ෂගේ නායකත්වයෙන් යුත් වත්මන් රජයයි. එමෙන්ම එල්.ටී.ටී.ඊ. ය දෙමළ ජනතාවගේ යහපත උදෙසා අදාළ පියවර ගැනීමට කැපවී සිටියා යෑයි මෙහිලා සඳහන් කළ යුතුමය."

ටී.එන්.ඒ. පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්. සම්බන්දන් මහතාගේ අදහස්‌ ඇසුරෙන් "සාම විමර්ශි" සඟරාවේ 2009 ජනවාරි කලාපයෙහි පළවූ ලිපියක එසේ සඳහන් වී තිබිණි.


එහි සඳහන්ව තිබූ සම්බන්දන් මහතාගේ මෙම අදහස්‌ කෙරෙහි ද අවධානය යොමු කළ යුතුව ඇත. එම ලිපියේ මෙසේද සඳහන්ව තිබිණි.

එල්.ටී.ටී.ඊ. සංවිධානය යුදමය ලෙස පරාජයවී ඇති මෙවන් අවස්‌ථාවක අප දරණ ස්‌ථාවරය නම් අප පාර්ලිමේන්තුවට පත් කර එවූ දෙමළ ජනතාව නිරතුරුවම අප විසින් නියෝජනය කරනු ලබන බවයි.

මෙහිලා අමතක නොකළ යුතු කරුණක්‌ නම් ලක්‍ෂ 03 කට ආසන්න දෙමළ ජනතාවක්‌ වන්නියේ සිරවී සිටීමත් ඒ ආශ්‍රිතව ඔවුන් මුහුණදී සිටින ගැටලු සමුදායත්ය. එහෙත් රජය කියා සිටිනුයේ දෙමළ ජනතාව නිදහස්‌ කර ගැනීමට තමන් ක්‍රියා කරන බවයි. රජයට අනුව දෙමළ ජනතාව නිදහස්‌ කරගැනීම යනු ඔවුන් සමූල ඝාතනය කිරීම, තුවාල සිදු කිරීම, අවතැන් කිරීම හා ඔවුන්ගේ දේපළ විනාශ කිරීම මිස අන් කවරක්‌ හෝ නොවේ.

මෙවැනි තීරණාත්මක තත්ත්වයක්‌ හමුවේ දෙමළ ජනතාවගේ පැවැත්ම දුෂ්කර තත්ත්වයකට පත්වී ඇති බව නොරහසකි. රජයේ හමුදා නිසි ඉලක්‌කයකින් තොරව එල්ල කරන ප්‍රහාරවලින් සාමාන්‍ය ජනතාවට හානි සිදු වන්නා සේම රජයේ පාලන ප්‍රදේශවලට පැමිණි ජනයා ද පසුවන්නේ විධිමත් ආරක්‍ෂාවකින් හෝ නිසි ජීවන මාර්ග හෝ නොමැති තත්ත්වයකයි. එවැනි තත්ත්වයක්‌ තුළ කබලෙන් ලිපට වැටීමට අකමැති දෙමළ ජනයා රජයේ පාලන ප්‍රදේශ වෙත පැමිණීමේ ප්‍රවණතාවයේ අඩුවක්‌ පවතින අතර, තම උපන් ගම්බිම් හැරදා පැමිණීම ද එතරම් පහසු කරුණක්‌ නොවේ.

අවතැන් දෙමළ ජනතාවට සාමයෙන් හා ගෞරවාන්විතව වාසය කිරීමේ පරිසරයක්‌ උදාකරන බවට වන ප්‍රකාශයක්‌ රජයට මෙතෙක්‌ කළ නොහැකිවීම ඉතා කනගාටුදායක තත්ත්වයක්‌ වන්නා සේම එය වඩාත් බරපතල වන්නේ මෙම ජනතාවට හිමි මූලික පහසුකම් හෝ ලබා නොදී ගස්‌ යට ඉන්නට සලස්‌වා නොසලකා හැර තිබීමයි.

පුවත්පත් සාකච්ඡා ඇසුරෙන් යෑයි සඳහන් කර "සාම විමර්ශි" සඟරාවේ පළ කර තිබූ සම්බන්දන් මහතාගේ එම අදහස්‌ අප මෙහි උපුටා දක්‌වනුයේ සම්බන්දන් ප්‍රමුඛ ද්‍රවිඩ ජාතික සන්ධාන මන්ත්‍රීවරු එදා පෙනී සිටියේ සැබෑවටම දෙමළ ජනතාව වෙනුවෙන් ද නැතිනම් මිනීමරු ප්‍රභාකරන් ප්‍රමුඛ කොටි ත්‍රස්‌තවාදීන් වෙනුවෙන් ද යන්න ඉන් පැහැදිලි වන නිසාය.

එල්.ටී.ටී.ඊ. ය යුද්ධයකට ඈ¹ ගනු ලැබුවේ මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිවරයා ප්‍රමුඛ රජය බව සම්බන්දන් මහතා පවසයි.

එසේ නම් මාවිල්ආරු සොරොව්ව වසා දමා ඇත්තේ ජනාධිපතිවරයාගේ නියෝගයකට අනුව යුද හමුදාව හෝ එම ප්‍රදේශයේ සාමාන්‍ය වැසියන් විය යුතුය. එදා එල්.ටී.ටී.ඊ. සංවිධානය මාවිල්ආරු සොරොව්ව වසා දමා දහස්‌ ගණනක්‌ වූ සාමාන්‍ය වැසියන්ගේ ජීවිත අනතුරට පත් කර රජයට එරෙහිව අනියමින් යුද ප්‍රකාශ කළ අයුරු රටම දැන සිටියාට සම්බන්දන්ලා නොදැන සිටියා වැනිය.

දෙමළ ජනතාවගේ කර පිටින් පාර්ලිමේන්තුවට ගොස්‌ ප්‍රභාකරන් ප්‍රමුඛ මිනීමරු කොටි නඩය වෙනුවෙන් "කඩේ" ගිය සම්බන්දන්ලා 2009 වසර ආරම්භය වන විට පරාජයේ එළිපත්තට පැමිණ සිටි එල්.ටී.ටී.ඊ. යට අත්වීමට යන විනාශය දරාගත නොහැකිව පරාජයේ වියරුවෙන් කී දේවල සත්‍ය අසත්‍යතාව අද වන විට මුළු රටටම අවබෝධ වී තිබේ.

එල්.ටී.ටී.ඊ. ය යුද්ධයට ඈ¹ ගත්තේ ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ද නැතිනම් තම යුද ශක්‌තිය පිළිබඳ අධි තක්‌සේරුවකින් සිටි ප්‍රභාකරන් ද කියා අමුතුවෙන් කිවයුතු නැත. සිය පිරිස්‌ බලය සහ යුද බලය පිළිබඳ මහා ලොකුවට හිතා සිටි ප්‍රභාකරන් මාවිල්ආරු සොරොව්ව වසා හමුදාව යුද්ධයට කැඳවාගෙන අවසානයේදී නන්දිකඩාල් කලපුවේදී ඊළාම් සිහිනය සුන්කර ගනිමින් අවසන් ගමන් ගියේය.

එහෙත් ප්‍රභාකරන් මියගොස්‌ නැතැයි ලොවට පෙන්වාදීමට උත්සාහ දරමින් කොටි සංවිධානයට නැවත පණ දීමට ක්‍රියා කරන ඊළාම්වාදී දෙස්‌ විදෙස්‌ ඇතැම් බලවේග ශ්‍රී ලංකා රජයට සහ ආරක්‍ෂක හමුදා වෙත යුද අපරාධ චෝදනා එල්ල කරමින් බිඳ වැටී ගිය සිය ඊළාම් රාජ්‍ය සිහිනය සැබෑවක්‌ කරගැනීමේ නිරර්ථක උත්සාහයක නිරතව සිටී.

ප්‍රභාකරන්ගේ මරණයත්, එල්.ටී.ටී.ඊ. යෙහි විනාශයත්, ඊළාම් යුද්ධයේ පරාජයත් විඳ දරාගත නොහැකිව වියරු වැටී සිටින මෙම කොටි හිතවාදී ඊළාම් ගැත්තන්ට සහ ඊනියා එන්.ජී.ඕ. සාම වෙළෙන්දන්ට යුද්ධය නිමාවීම යනු ධන උල්පත සිඳී යැමක්‌ විය. එම ධන උල්පත යළි පාදා ගැනීමට නම් ඊළාම් සංකල්පයට නැවත පණදී රට පුරා සිය ක්‍රියාකාරකම් පවත්වාගෙන යායුතු බැවින් දෙමළ ඩයස්‌පෝරාව නම් වූ විදෙස්‌ රටවල වෙසෙන ශ්‍රී ලාංකික දෙමළ වැසියෝ රජයට සහ හමුදාවනට එරෙහිව විරෝධතා උද්ඝෝෂණ පවත්වමින් ඊළාම් මතවාදය නැවත ව්‍යාප්ත කිරීමේ නිරතව සිටිති.

එවන් උත්සාහයක නිරතව සිටි ඊළාම්වාදීන් පිරිසකට කදිම පාඩමක්‌ කියා දීමට සැබෑ දේශප්‍රේමී ශ්‍රී ලාංකික රණවිරුවකුට හැකිවී තිබෙනු පසුගියදා අසන්නට හැකි විය.

එක්‌සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකා නියෝජ්‍ය නිත්‍ය නියෝජිත ලෙස කටයුතු කරන මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ඇමරිකාවේ බොස්‌ටන්හිදී පැවැත්වූ දේශනයකට බාධා කිරීමට තැත් කළ කොටි හිතවාදීන් හමුවේ නොසැලී පිළිතුරු දෙමින් වන්නි මානුෂීය මෙහෙයුමෙහි සැබෑ තත්ත්වය විග්‍රහ කරදී ඇත.

එදා වන්නි සටන් පෙරමුණේදී කොටි ත්‍රස්‌තවාදීන් ගිනි අවියෙන් එල්ල කළ ප්‍රහාරවලට ගිනි අවියෙන්ම පිළිතුරු දී කොටි නිහඬ කළ මේජර් ජෙනරාල් සිල්වා මෙදා කොටි හිතවාදීන් එල්ල කළ වාග් ප්‍රහාරවලට ද ප්‍රති වාග් ප්‍රහාර සාර්ථකව එල්ල කරමින් ඔවුන් නිහඬ කිරීමට සමත්වී ඇත.

මෙම ලිපිය ආරම්භයේදී සඳහන් කර තිබූ ආර්. සම්බන්දන් මහතාගේ අදහස්‌ අතර තිබූ රජයට හා හමුදාවට එරෙහි චෝදනාවලට ද පිළිතුරු මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා බොස්‌ටන්හිදී කරන ලද දේශනයේ ඇතුළත්ව තිබිණි.

ශ්‍රී ලංකා ආරක්‍ෂක හමුදාවනට එරෙහිව එල්ල කෙරෙන යුද අපරාධ චෝදනා හමුවේ ඊට නොසැළී නොබියව මුහුණ දෙමින් ලෝක ප්‍රජාව හමුවේ සත්‍ය හෙළිදරව් කිරීමේ නිරතව සිටින මේජර් ජනරාල් ශවේන්ද්‍ර සිල්වාට මුළු මහත් ශ්‍රී ලාංකික දේශප්‍රේමී ජනතාවගේ ගෞරව උපහාරය හිමිවනු නිසැකය.

යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ජගත් ජයසූරියගේ අදහසකට අනුව ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ උපදෙස්‌ මත මෙම වසරේ කොළඹදී පැවැත්වෙන ජාත්‍යන්තර සමුළුවේදී කොටි ත්‍රස්‌තවාදය පරාජය කිරීමේ සහ දෙමළ ජනතාව කොටි ප්‍රහාරයෙන් මුදා ගැනීමේ මානුෂීය මෙහෙයුම්වලදී හමුදාව ලැබූ අත්දැකීම් සහ යුද ක්‍රමවේදයන් පිළිබඳ විදෙස්‌ රටවල් 54 ක හමුදා නිලධාරීන් දැනුවත් කරමින් තවත් බොහෝ සත්‍ය කරුණු ලෝකයා හමුවේ අනාවරණය කෙරෙනු ඇත.

නැගෙනහිර හා වන්නි මානුෂීය මෙහෙයුම්වලදී යුද හමුදාව ඉටු කළ කාර්යභාරය සියල්ල නොසඟවා සත්‍ය ලෙසම අනාවරණය කිරීමට හමුදාව සූදානමින් සිටී.

එහිදී සැඟවීමට තරම් කිසිදු යුද රහසක්‌ නැතැයි යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ජගත් ජයසූරිය පසුගියදා මාධ්‍ය හමුවේ අවධාරණය කර සිටියේය.

මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා බොස්‌ටන්හිදී කළ දේශනයකදී පැවසූ තවත් වැදගත් කරුණක්‌ පිළිබඳව ද අපගේ අවධානය යොමුවිය යුතුව ඇත.

කොටි ත්‍රස්‌තවාදයට එරෙහිව හමුදාව සිදු කළ මානුෂීය මෙහෙයුමෙහි නියම අවසන් ජයග්‍රහණය ලෙස සලකනුයේ ප්‍රභාකරන් මියගිය දිනය නොව පුදුමාතලන් යුද මුක්‌ත කලාපයේ කොටි ග්‍රහණය යටතේ සිරවී සිටි ලක්‍ෂ ගණනක දෙමළ වැසියෝ කොටි ග්‍රහණයෙන් මිදී හමුදා රැකවරණය පතා හමුදා පාලන ප්‍රදේශයට එකවර පැමිණි දිනය බව ඔහු ප්‍රකාශ කර තිබිණි.

කොටි ත්‍රස්‌තවාදීන් යුදමය වශයෙන් පරාජය කිරීමට සමගාමීව යුද හමුදාව සිදු කළ මානුෂීය මෙහෙයුමෙහි ප්‍රධාන අරමුණ වී තිබුණේ කොටි බලෙන් රඳවාගෙන සිටි සාමාන්‍ය වැසියන් නිරුපද්‍රිතව මුදාගෙන ඔවුන්ට නිසි ආරක්‍ෂාව, රැකවරණය සැලසීම විය. එම ඉලක්‌කය නිසි අයුරින් සපුරා ගැනීමට හැකිවීම යුද හමුදාව අත්කර ගත් ප්‍රබල ජයග්‍රහණය බව මේජර් ජෙනරාල් සිල්වා පවසා සිටියේ හමුදාව සාමාන්‍ය වැසියන්ට හිරිහැර පීඩා කළ බවට කොටි හිතවාදීන් එල්ල කළ චෝදනාවට ද නිසි පිළිතුරක්‌ දෙමිනි.

වන්නි මානුෂීය මෙහෙයුමේදී යුද හමුදාව සාමාන්‍ය වැසියන්ට ප්‍රහාර එල්ල කිරීම, භාරවීමට පැමිණි කොටි නායකයන් ඝාතනය කිරීම ඇතුළු යුද අපරාධ සිදු කළ බවට එල්ල කරන චෝදනා තරයේ ප්‍රතික්‍ෂේප කරන බව අවධාරණය කරන යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ජගත් ජයසූරිය මානුෂීය මෙහෙයුම්වල සැඟවීමට තරම් කිසිදු යුද රහසක්‌ නැතැයි වගකීමකින් යුතුව කර තිබෙන ප්‍රකාශය ද අවධානයට යොමුවිය යුතු වැදගත් දෙයකි.

වන්නි මානුෂීය මෙහෙයුම් සමයේ වන්නි ආරක්‍ෂක සේනා ආඥපති වශයෙන් කටයුතු කළේ එවක මේජර් ජෙනරාල්වරයකු වූ වත්මන් යුද හමුදාපතිවරයායි. වන්නි ආරක්‍ෂක සේනා මූලස්‌ථානය යටතේ එවක පැවැති වවුනියාව, මන්නාරම, කිලිනොච්චිය, මුලතිව් දිස්‌ත්‍රික්‌කවල මෙහෙයුම්වල නිරත වූ සියලුම හමුදා සේනාංක වන්නි ආරක්‍ෂක සේනා ආඥපතිවරයාගේ සමස්‌ත අණදීම යටතේ ක්‍රියාත්මක විය.

යුද්ධය අවසන් වූ පසු වන්නි ආරක්‍ෂක සේනා බල ප්‍රදේශය බෙදා වෙන් කරමින් කිලිනොච්චිය සහ මුලතිව් යනුවෙන් නව ආරක්‍ෂක සේනා මූලස්‌ථාන 02 ක්‌ පිහිටුවන ලදී. එහෙත් යුද සමයේදී එම ප්‍රදේශය ද වන්නි ආරක්‍ෂක සේනා ආඥපති ලුතිනන් ජෙනරාල් (එවක මේජර් ජෙනරාල්) ජගත් ජයසූරියගේ අණදීම යටතේ ක්‍රියාත්මක විය.

එම නිසා වන්නි මානුෂීය මෙහෙයුම තුළ සැඟවීමට තරම් යුද රහස්‌ කිසිවක්‌ නැති බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ජගත් ජයසූරිය පවසනුයේ දැඩි වගකීමකින් යුතුව බවට කිසිදු සැකයක්‌ නැත.

සිරිමෙවන් කස්‌තුරිආරච්චි

No comments:

Post a Comment

Total Pageviews

Advertise