Sunday, February 13, 2011

කීපදෙනෙක්‌ම ආදරය ගැන අහලා තියෙනවා (ශේෂාද්‍රී ප්‍රියසාද්)

මගේ තාත්තා දිනේෂ් ප්‍රියසාද්

පියාගෙන් ලද ආභාසය ඔස්‌සේ යමින් කලා ක්‍ෂේත්‍රය වර්ණවත් කිරීමට එක්‌ වූ දියණියන් තිදෙනෙක්‌a අතරින් දෙවැනියා ඇයයි. නුදුරු දිනයකදීම චැලෙන්ජර් සිනමාපටය ඔස්‌සේ ප්‍රේක්‍ෂකයා හමුවට පැමිණීමට දෑස්‌ දල්වා සිටින ඇය ශේෂාද්‍රී ප්‍රියසාද්.

ශේෂාද්‍රී කොහොමද?

ගොඩක්‌ හොඳින් ඉන්නවා. විවෘත විශ්ව විද්‍යාලයේ කළමනාකරණ උපාධිය කරන නිසා මේ දවස්‌වල අධ්‍යාපන කටයුතු එක්‌ක තමයි වැඩි කාලයක්‌ ගතවෙන්නේ.

මේ දවස්‌වල නොඉවසිල්ලෙන් ඉන්න කාරණාවකුත් තියෙනවා නේද?

ඇත්තටම ඔව්, මම රඟපාපු මුල්ම චිත්‍රපටය තිරගතවෙන්න ළඟයි. 2009 නොවැම්බර් මාසේ තමයි චැලෙන්ජර් චිත්‍රපටයේ රූගත කිරීම් අවසන් කළේ. ඒ දවස්‌වල ඉඳලා හැමෝම ඇහුවා කවදද චිත්‍රපටය බලන්න ලැබෙන්නේ කියලා. ඒ නිසාම චැලෙන්ජර් බලන්න මගෙ හිතේ තිබුණු ආසාවත් වැඩිවුණා.

මීට කලින් කිසිදු නිර්මාණයකට සම්බන්ධ වෙලා නැද්ද?

තාත්තා අධ්‍යක්ෂණය කළ චිත්‍රපට කිහිපයකට පුංචි පුංචි චරිතවලින් එකතුවෙලා තියෙනවා.

පියා (දිනේෂ් ප්‍රියසාද්) නිසාද ඔබ රංගනයට ආවේ?

තාත්තගෙ නිර්මාණවලට සම්බන්ධ වෙලා තිබුණට මම කාගෙ කවුද කියලා නොදැන තමයි උදයකාන්ත වර්ණසූරිය මහත්මා මට චැලෙන්ජර් චිත්‍රපටයට කතා කළේ. පුංචි පැංචි වැඩසටහනෙයි, සී වයිඩ්ස්‌ වැඩසටහනෙයි මමයි අක්‌කයි නිවේදන කටයුතු කරන කාලේ ඉඳලම උදයකාන්ත මහත්මා නිර්මාණවලට කතා කළා. අධ්‍යාපන කටයුතුවලට බාදාවක්‌ වෙයි කියලා හිතපු නිසා ගියේ නැහැ. චැලෙන්ජර් චිත්‍රපටයට තමයි ප්‍රධාන චරිතයකින් මුලින්ම සම්බන්ධ වුණේ.

මුලින්ම සිනමා පටයකින් එන්න ලැබීම දැනෙන්නේ?

ගොඩක්‌ සතුටුයි. චැලෙන්ජර් වගේ චිත්‍රපටයක්‌ ලැබීම ගැන ඊටත් වඩා සතුටුයි. ටෙලිනාට්‍යවල රඟපාන්න කැමති නැති නිසා හිතාගෙන හිටියේ කවදාහරි දවසක චිත්‍රපටයකින්ම ඉදිරියට එනවා කියලා. ඒ හීනේ අද සැබෑ වෙලා තියෙනවා.

එයත් ප්‍රධාන චරිතයක්‌ වීම?

අහම්බෙන් කෙනෙකුට ලැබෙන දෙයක්‌. මීට කලින් ප්‍රධාන චරිත රඟපාලා තිබුණේ නැති වුණාට මට විශ්වාසයක්‌ තිබුණා අවස්‌ථාවක්‌ ලැබුණොත් කරන්න පුළුවන් කියලා. ඒකට තාත්තගේ ආභාසයත් හේතුවක්‌ වෙන්න ඇති.

නමුත් ටෙලිනාට්‍යවල රඟපාන්නේ නැහැ කියන සමහර අය පස්‌සේ ඒවායේ රඟපානවා නේද?

මට රඟපාන්න ආසාව ඇතිවුණු දවසේ ඉඳලා හිතුවේ චිත්‍රපටවල රඟපාන්න. නමුත් කිව්වා වගේ ටෙලිනාට්‍යවල රඟපාන්නේ නැහැ කියලා පස්‌සේ රඟපාන අයත් ඇති. මම නම් එහෙම වෙනස්‌ වෙන කෙනෙක්‌ නෙමෙයි.

ශේෂාද්‍රීගේ පෞද්ගලික තොරතුරු කිව්වොත්?

මගේ ගම නුගේගොඩ. පවුලේ අම්මයි, තාත්තයි, අක්‌කයි, නංගියි. බම්බලපිටියේ ශුද්ධ වූ පවුලේ කන්‍යාරාමයෙනුයි නුගේගොඩ රෝයල් ඉන්සිටියුට්‌ ජාත්‍යන්තර පාසලෙනුයි අධ්‍යාපනය ලැබුවා.

චැලෙන්ජර් හි ඔබේ චරිතය ගැන හැඳින්වීමක්‌ කළොත්?

ශාරාන්‍යා තමයි මගේ චරිතය. ශාරාන්‍යා කියන්නේ ධනවත් පවුලක දුවෙක්‌. ඇගේ ආදරය දිනාගන්න පිරිමි ළමයි දෙනෙක්‌ තරගකරනවා. යාළුවොත් එක්‌ක විනෝදයෙන් ගත කරන චරිතයක්‌. ශාරාන්‍යාගේ සමහර දේවල් මගේ ජීවිතේට සමානයි.

ඒ කියන්නේ ශේෂාද්‍රීත් ශාරාන්‍යා වගේද?

ශාරාන්‍යා තරම් ධනවත් නම් නැහැ. මධ්‍යම පාන්තිකයි. ශාරාන්‍යාට තියෙන තරම් නිදහසකුත් මට නැහැ. ශාරන්‍යා යාළුවොත් එක්‌ක විනෝදෙන් ගත කරන ජීවිතේට නම් සමානයි.

එතකොට ශාරාන්‍යා වගේ පෙම්වතියක්‌ ද ශේෂාද්‍රී?

කිහිප දෙනෙක්‌ම ආදරේ ගැන මගෙන් අහලා තියෙනවා. ඒ හැමෝටම කිව්ව එකම දේ තමයි අධ්‍යාපන කටයුතු ඉවර වෙනකම් එහෙම දෙයක්‌ ගැන හිතන්නේ නැහැ කියලා.

ඉදිරියේදී ඔබව දකින්න පුළුවන් වෙනත් නිර්මාණ මොනවාද?

මගෙ තාත්තාගෙ (දිනේෂ් ප්‍රියසාද්ගේ) ඇද්දා ලණුව දැම්මා කොඩිය, උදයකාන්ත වර්ණසූරිය මහත්මාගේ සෙනසුරු මාරුව චිත්‍රපට දෙකම තිරගත වෙන්න තියෙනවා.

චරිතය අතින් ගත්තොත් ශේෂාද්‍රී මොනවගේ කෙනෙක්‌ද?

මම හිතනවා මම හොඳයි කියලා. අම්මා කියන විදිහටනම් ටිකක්‌ දඟයි. ගොඩක්‌ තරහා යනවා. ඉවසීමත් තියෙනවා. මගේ පාඩුවේ ඉන්න කෙනෙක්‌.

දැන් දිගටම රඟපාන්නද

බලාපොරොත්තුව?

අධ්‍යාපන කටයුතුවලින් ඉදිරියට ගිහින් ව්‍යාපාරයක්‌ කරන්න අදහසක්‌ තියෙනවා. ඒ අතරේ චරිත ලැබෙන විදිහට රඟපානවා.

ඇයි රංගනය වෘත්තිමය කරගන්න කැමති නැද්ද?

ජීවිතේ ගෙවන්නනම් ප්‍රධාන වශයෙන් මුදල් අවශ්‍යයි. රංගනය වෘත්තිමය වශයෙන් කරන්න අමාරුයි. මොකද මාසෙකට නිර්මාණ කීයක්‌ ලැබෙයිද කියලා අපි කාටවත් කියන්න බැහැ. නමුත් ස්‌ථිර රැකියාවක්‌ හරි ව්‍යාපාරයක්‌ හරි කළොත් අපි දන්නවා මාසේ අන්තිමට මුදලක්‌ අපේ අතට එනවා කියලා.

ඒ කියන්නේ රංගනය විනෝදාංශයක්‌ හැටියට කරන්නද බලාපොරොත්තු වෙන්නේ?

මම පුවත්පත්වලින් දැකලා තියෙනවා සමහරු ඔය කතාව කියලා තියෙනවා. අත්දැකීම් ගොඩක්‌ ලබලා නැති වුණත් මම කවදාවත් රංගනය විනෝදාංශයක්‌ හැටියට දකින්නේ නැහැ. රංගනය අදහගෙන කරන්න ඕන දෙයක්‌.

අක්‌කගෙයි නංගිගෙයි දක්‍ෂතාවන් ඔබ දකින්නේ කොහොමද?

අපි තුන්දෙනාගෙන්ම නංගිගේ (ෂනුද්‍රී) හැකියාවන් තමයි මුලින්ම දැක්‌කේ. එයා රඟපාද්දි අවුරුදු තුනහමාරයි. අක්‌කත් (දිනක්‌ෂි) ගොඩක්‌ දක්ෂයි. අක්‌කා අහිංසක නිසා අපි කවුරුත් හිතුවේ නැහැ එයා රඟපායි කියලා. මම හිතනවා එයා මට වඩා ගොඩක්‌ දක්ෂයි කියලා.


ලක්‌මිණි අතුකෝරල
ඡායා - සුජාතා ජයරත්න

No comments:

Post a Comment

Total Pageviews

Advertise