Sunday, February 6, 2011

ගංවතුරින් බේරාගත් ගැබිනියකට ගුවන් යානයේදීම දරු උපතක්‌

හොරොව්පතාන ප්‍රදේශයේ ගංවතුරට කොටුවී සිටි ගැබිනි මවක්‌ ඊයේ (04 වැනිදා) උදෑසන ගුවන් මගින් බේරාගෙන එන විට ගුවන් යානයේදී ඇය සිය දරු ප්‍රසූතිය සිදු කළාය.

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් බෙල් 212 ගුවන් යානය මගින් මෙලෙස ගැබිනි මව රැගෙන එන අතරතුර දරු ප්‍රසූතිය සිදුව තිබේ.

දරුවාත් මවත් ආරක්‍ෂිතව අනුරාධපුර රෝහලට රැගෙන ඒමට ගුවන් නියමුවන් පියවර ගත් බව ගුවන් හමුදා ප්‍රකාශක ගෲප් කපිතාන් ජනක නානායක්‌කාර පැවසීය.

හදිසි අවස්‌ථාවකදී බේරාගනු ලැබූ ගැබිනි මවකට මෙවැනි දරු ප්‍රසූතියක්‌ ගුවන් යානයක්‌ තුළ සිදුව ඇත්තේ ගුවන් හමුදා ඉතිහාසයේ පළමු වරට බව ගුවන් හමුදාව සඳහන් කරයි.

මෙම සිද්ධියට අමතරව ජල ගැලීම්වලට ගොදුරුව සිටි පුද්ගලයන් විස්‌සකට අධික පිරිසක්‌ ඊයේ සවස්‌ වන විට ගුවන් මගින් බේරාගෙන ඇත.

ආපදාවන්ට ලක්‌ව ඇති පිරිස්‌ බේරාගැනීම සඳහා ආරක්‍ෂක මාණ්‌ඩලික ප්‍රධානීහු ගුවන් හමුදාපති එයාර් චීෆ් මාර්ෂල් රොෂාන් ගුණතිලක මහතාගේ සෘජු අධීක්‍ෂණය මත ගුවන් හමුදාවේ බෙල් 212 වර්ගයේ ගුවන් යානා දෙකක්‌ සහ එම්. අයි. 17 වර්ගයේ හෙලිකොප්ටර් යානා දෙකක්‌ යොදවා තිබේ.

පවතින හදිසි තත්ත්වයන්ට මුහුණදීම සඳහා ගුවන් හමුදාවේ හෙලිකොප්ටර් යානා ඕනෑම අවස්‌ථාවක සූදානමින් තබා ඇතැයිද ඒ සඳහා වූ නිරීක්‍ෂණ ගුවන් ගමන් පැය 24 පුරාම ක්‍රියාත්මක කර ඇති බවද ගෲප් කපිතාන් ජනක නානායක්‌කාර සඳහන් කළේය.

එසේම ජල ගැලීම්වලට ගොදුරුවූ පිරිස්‌ බේරා ගැනීම සඳහා නාවික හමුදා ජීවිතාරක්‍ෂක කණ්‌ඩායම් 20 ක්‌ අදාළ ප්‍රදේශවල ක්‍රියාත්මක වන අතර, ඊට යුද හමුදාවේ සහාය ද ලබාදී තිබේ.

No comments:

Post a Comment

Total Pageviews

Advertise