Thursday, February 17, 2011

සිනමා හා ටෙලි නාට්‍ය නිළි විනූ වෙත්තමුණි ඝාතනය

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්, චමින්ද සිල්වා සහ රත්මලාන - එස්‌. පී. ආරියරත්න

සිනමා සහ ටෙලිනාට්‍ය නිළියක මෙන්ම චිත්‍රපට නිෂ්පාදිකාවකද වූ විනූ වෙත්තමුණි මහත්මිය රත්මලානේ පිහිටි නිවසේදී කිසියම් පුද්ගලයකු විසින් ගෙල සිරකර ඝාතනය කර ඇත. රත්මලාන බොරුපන පාරේ කුලී නිවසක ඇය පදිංචිව සිටි අතර ඊයේ අලුයම කාමරය තුළදී සපත්තු ලේස්‌ පටියකින් ඇගේ ගෙල සිරකර මරා දැමූ ඝාතකයා පලාගොස්‌ ඇතැයි ගල්කිස්‌ස පොලිසිය ප්‍රකාශ කරයි.

තිස්‌ අටවැනි වියෙහි පසුවූ විනූ වෙත්තමුණි සිය මව සහ දහඅට හැවිරිදි පුතා සමග මෙම නිවසේ පදිංචිව සිට ඇත. ඇය මරාදමා ඇති බව පොලිසියට දැනුම් දුන්නේද ඇගේ මව සහ පුතා විසින් බව ගල්කිස්‌ස මූලස්‌ථාන පොලිසියේ නිලධාරියකු පැවසුවේය.

පොලිස්‌ නිලධාරීන් ඝාතනය සිදුවූ නිවසට ඊයේ පෙරවරුවේ ගොස්‌ සිදුකළ පරීක්‍ෂණවලදී අනාවරණය වූ තොරතුරු අනුව ඇගේ සැමියා දැනට විදේශ ගතව සිටී. 

ඇයගේ නිවසට පෙරේදා (15 දා) රාත්‍රියේ වෑන් රථයකින් පුද්ගලයින් තිදෙනකු පැමිණ ඇත. ඔවුන් තිදෙනා තමන් මීට පෙර දැක නැතැයි මියගිය නිළියගේ පුතා පොලිසියට පවසා ඇත.

මෙසේ පැමිණි තිදෙනාගෙන් එක්‌ අයකු නිවසේ සිටියදී අනෙක්‌ දෙදෙනා පැමිණි වෑන් රථයෙන්ම පිටව ගිය බවද උදෑසන අවදි වී බලද්දී මවගේ කාමරයේ ඉබි යතුරු දමා තිබූ බවද ඔහු පොලිසියට ප්‍රකාශ කර ඇත. පසුව යතුරු සිදුරෙන් කාමරය දෙස බැලූ විට මව මැරී වැටී සිටිනු දුටු බවද ඔහු පවසා තිබේ.

තමන් සහ ආච්චි එක්‌ව මවගේ කාමරයේ දොර කැඩූ බවද ඔහු වැඩිදුරටත් පොලිසියට ප්‍රකාශ කර තිබේ.

විනූ වෙත්තමුණි පෙරදා රාත්‍රියේ පැමිණි පුද්ගලයා සමග රාත්‍රිය ගත කරන්නට ඇතැයි සැකකරන බවද ඇගේ අල්මාරිය ඇතුළු කාමරයේ සියලු දෑ ඇද අවුස්‌සා තිබූ බවද පොලිසිය පැවසීය.

ඝාතකයාගේ යෑයි සැකකළ හැකි සරමක්‌ සහ ඇඳුම් කිහිපයක්‌ද කාමරයේ තිබී පොලිසිය විසින් සොයාගෙන තිබේ.

විනූ වෙත්තමුණි මෑතකදී තිරගත වූ "සිහින දෙව්දුව" චිත්‍රපටයේ ප්‍රධාන චරිතයක්‌ නිරූපණය කළාය. ඇය එම චිත්‍රපටයේ නිෂ්පාදිකාවද වූවාය.

ළඟදී තිරගත වීමට නියමිත "සතියකට මට රට භාර දෙන්න" චිත්‍රපටයේ ප්‍රධාන චරිතයද ඇය නිරූපණය කළාය.

ඝාතනයේ සැකකරු සොයා ගල්කිස්‌ස පොලිසිය පරීක්‌ෂණ පවත්වයි.

ගල්කිස්‌ස ජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධිකාරී හේමන්ත අධිකාරී මහතාගේ අධීක්‍ෂණය යටතේ ගල්කිස්‌ස මූලස්‌ථාන පොලිස්‌ පරීක්‍ෂක මහේෂ් පෙරේරා මහතාගේ උපදෙස්‌ මත අපරාධ විමර්ශන අංශයේ ස්‌ථානාධිපති පොලිස්‌ පරීක්‌ෂක තිස්‌ස සුගතපාල මහතාගේ මෙහෙයවීම යටතේ උප පොලිස්‌ පරීක්‌ෂක කුමාර නලවංශ මහතා ඇතුළු නිලධාරීහු පිරිසක්‌ වැඩිදුර පරීක්‌ෂණ පවත්වති.

No comments:

Post a Comment

Total Pageviews

Advertise