Sunday, February 27, 2011

පවුලට සුදුසු පවුල් සැලසුම තෝරා ගන්න

දෙදෙනෙක්‌ විවාහ වූ පසු අප ඔවුන්ට "යුවලක්‌" යන නම භාවිතා කරනවා. එලෙස ම ඔවුන්ට දරුවෙක්‌ ලැබුණා ම "පවුලක්‌" ලෙස සලකනවා. මෙම පවුලට තවත් දරුවෙක්‌ එකතු වෙනවා. මෙම එකතුවීම සැලසුම් සහගතව සිදු නොවුණහොත් එය ඒ පවුලට දැරිය නොහැකි තත්ත්වයක්‌ බවට පත් වේ. පවුලක සෞඛ්‍ය, ආර්ථික හා සමාජීය අවශ්‍යතාවයන්ට අනුකූලව සැලසුමක්‌ ඇතිව දරුවන් සෑදීම කළ යුතුයි. පළමු දරු උපත සඳහා නිසි වයසක්‌ ඇත. වයස අවුරුදු 18 ට අඩු කාන්තාවන් ශාරීරික හා මානසික දෙඅංශයෙන් ම මේ සඳහා සූදානම් නැත. මෙවැනි ගැබ් ගැනීම් වලදී මවගේ හා දරුවාගේ සෞඛ්‍යට තර්ජනයක්‌ ඇතිවේ. තවද අඩු වයස්‌ මවකට දරුවකු බලා ගැනීමට අවශ්‍ය දැනුම හා අත්දැකීම් නොමැති කමින් ඇය අසහනයට පත් වේ. මෙයින් පවුලේ වෙනත් ප්‍රශ්න ඇති වේ. තවද දරුවන් අතර පරතරය පවත්වා ගැනිම වැදගත් ය. අවම වශයෙන් අවුරුදු 3 ක පරතරයක්‌ දරුවන් අතර පවත්වා ගැනීමට අවශ්‍ය වන්නේ මවගේ හා උපදින දරුවාගේ සෞඛ්‍ය පිණිස ය. මීට අමතරව පවුලක ආර්ථිකය ගොඩනගා ගැනීමටද මෙය වැදගත් කරුණකි. ස්‌ථිර උපත් පාලන ක්‍රමයක්‌ වන ස්‌ත්‍රී වන්ධ්‍යාකරණය හා පුරුෂ වන්ධ්‍යාකරණය දෙක ම ශල්‍යකර්ම ආශ්‍රිත ක්‍රමයන් වේ. මෙහිදී කාන්තාවගේ පැලෝපීය නාලය හෝ පුරුෂයින්ගේ ශුක්‍රනාල අවහිර කිරීමෙන් ඩිම්බ හෝ ශුක්‍රාණු ප්‍රවාහනයට බාධා කෙරේ. එමගින් සිදුවන උපත් පාලනය ඉතා ම සාර්ථක ක්‍රමය වේ. තාවකාලික ක්‍රම සුදුසු වන්නේ තවදුරටත් දරුවන් බලාපොරොත්තු වන සහ වයස අඩු දරුවන් සිටින අයට ය. මෙම තාවකාලික ක්‍රම අතරින් කෘත්‍රිම ක්‍රමවල සාර්ථකත්වය වැඩිය. ඒවායින් හෝමෝන සහිත ඖෂධ භාවිතා කිරීමෙන් ඩිම්බ පිටවීම වළක්‌වා ගැබ් ගැනීම වලකයි.

ගිලින පෙති

දිනපතා භාවිතා කල යුතුය. පැකට්‌ටුවේ ඇති හෝමෝන පෙති 21 අවසානයේ දුඹුරු පැහැති යකඩ පෙති 7 භාවිතා කළ යුතුය. මෙම දින ඇතුළත රුධිර වහනය සිදුවේ. පළමු පැකට්‌ටුවේ සියලුම පෙති අවසන් වූ විට නොකඩවා අලූත් පෙති පැකට්‌ටුවක්‌ භාවිත කල යුතුය. පෙති ගැනීම දිගටම කල යුතු අතර එක්‌ දිනක්‌ හෝ පෙති ගැනීමට අමතක වුවහොත් මතක්‌ වූ විගස පෙර දිනට නියමිත පෙත්ත ගත යුතුය. දින 2 ක්‌ අමතක වුවහොත් තෙවන දිනයෙහි පෙති 2 ක්‌ පාවිච්චි කර එම පැකට්‌ටුව අවසාන වනතෙක්‌ වෙනත් උපත් පාලන ක්‍රමයක්‌ ද භාවිත කළ යුතුයි. මෙම උලත් පාලන ක්‍රමය වඩාත් සුදුසු වන්නේ අලුත විවාහ වී පළමු දරුවා පිළිසිද ගැනීම ප්‍රමාද කිරීමට අවශ්‍ය යුවළකට . විවාහ වීමට පෙර තරුණ ගැහැණු ළමයින්ට සහ ළමයින් අතර පරතරයක්‌ පවත්වා ගැනීමට යි. කිරිදෙන මවුවරුන්ට මෙම ක්‍රමය සුදුසු නැත. ගබ්සා වීමකින් දින 05 ක්‌ ඇතුළත ගිලින පෙති ගැනීම ආරම්භ කල හැක. දිනපතා නිවැරදිව ගතහොත් සාර්ථකත්වය 99% ට වඩා වැඩිය. පසු සංවාස උපත් පාලන ක්‍රමයේදී ද හෝමෝන අඩංගු පෙති මගින් ගැබ් ගැනීම වැලැක්‌වීම සිදුවේ. අනාරක්‌ෂිතව සංසර්ගයේ යෙදුණ කාන්තාවකට අනවශ්‍ය ගැබ් ගැනීමක්‌ වලකාලීමට මෙම ක්‍රමය පාවිච්චි කල හැක. මෙම ක්‍රමය ඉතා සාර්ථක ක්‍රමයක්‌ වුවද එය හදිස්‌සි අවස්‌ථාවක මිස නිතර භාවිතයට සුදුසු නොවේ.

උපත් පාලන එන්නත

මෙය භාවිතයේ දී ද හෝමෝන මගින් ඩිම්බ පිටවීම වළක්‌වාලයි. මෙම එන්නත දින 90 ට වරක්‌ ලබා ගත යුතු අතර කිරිදෙන මව්වරුන්ට වඩාත් සුදුසු මෙම ක්‍රමය ප්‍රසවයෙන් සති 6 කට පසුව ආරම්භ කල හැක. දරුවන් අතර පරතරයක්‌ පවත්වා ගැනීම සඳහා එක්‌ දරුවකු සිටින මවකට සුදුසු ක්‍රමයකි. ඉතා සාර්ථක ක්‍රමයන් වන මෙය ගත යුත්තේ දින 90 ට වරක්‌ බැවින් කාන්තාවන්ට පහසු ක්‍රමයකි. නමුත් සමහර කාන්තාවන්ට අක්‍රමවත්ව රුධිර වහනය සිදුවිය හැක. කෑම රුචිය වැඩිවන බැවින් බර වැඩිවීමට ඉඩ ඇත.

නෝර්ප්ලාන්ට්‌

මේ නමින් හැඳින්වෙන්නේ සම යට තැන්පත් කරනු ලබන හෝමෝන සහිත කරල් විශේෂයකි. මෙම උපත් පාලන ක්‍රමය දිගු කාලයක්‌ ක්‍රියාකරන බැවින් සම යට තැන්පත් කිරීමෙන් අවුරුදු 5 කට ආරක්‌ෂාව ලැබේ.

ලූපය

මෙම උපත් පාලන ක්‍රමයේ දී සිදු වන්නේ නැමෙන සුළු ප්ලාස්‌ටික්‌ උපකරණයක්‌ සරල ක්‍රමයකින් ගර්භාෂය තුළ තැන්පත් කිරීමයි. මෙහිදී ශුක්‍රාණු වල හා ඩිම්බ වල ක්‍රියාකාරිත්වයට ඇතිවන බලපෑම නිසා මෙහිදී සංසේචනය සිදුවීම වැලකේ. මෙය ද ඉතා සාර්ථක ක්‍රමයක්‌ ලෙස අවුරුදු 10 ක්‌ භාවිත කළ හැක. දරුවන් අතර පරතරය තබා ගැනීමට සහ පවුල සම්පූර්ණ කළ කාන්තාවන්ට මෙය සුදුසු ක්‍රමයකි. දරුවන් නොලත් කාන්තාවන්ට මෙය කිසිසේත් සුදුසු නැත.

කොන්ඩම්

පිරිමි සඳහා භාවිත වන "කොන්ඩමය" තවත් උපත් පාලන ක්‍රමයකි. මේ මගින් ශුක්‍රාණු යෝනි මාර්ගයට ඇතුල් වීම වළක්‌වා ගනු ලැබේ. උපත් පාලනයට අමතරව ලිංගාශ්‍රිත රෝග වලින් ආරක්‌ෂා වීමද මෙම ක්‍රමයේ තවත් වාසියකි. කාන්තාවන් සඳහා නිපදවා ඇති කොන්ඩමය කාන්තාව විසින් සංසර්ගයට පෙර යෝනි මාර්ගයට ඇතුල් කළ යුතුය. මේවායේ සාර්ථකත්වය එතරම් ඉහළ නැතත් ලිංගාශ්‍රිත රෝග වළැක්‌වීම විශේෂ වාසියකි. ආර්ථව චක්‍රයේ ඇති වන සරු හා නිසරු අවධිවල ඇතිවන නිමිති හා ලක්‌ෂණ නිරීක්‌ෂණය කිරිමෙන් ගර්භනීභාවය සැලසුම් කර ගන්නා ක්‍රමයක්‌ ද ඇත. මෙය ස්‌වභාවික ක්‍රමය නමින් හැදින්වෙන අතර එතරම් සාර්ථක නොවන බැවින් පළමු දරුවා පමා කිරීමට භාවිත කළ හැක.


වෛද්‍ය චම්පා නෙල්සන්

No comments:

Post a Comment

Total Pageviews

Advertise