Sunday, February 13, 2011

උපත් පාලන පෙති ගැනීමෙන් කුරුලෑ ඇති කරනවාද?

තරුණ යුවතියන් සහ තරුණයන් ගෙන් බොහෝදෙනෙක්‌ පීඩා විඳින කුරුලෑ තුළ පවතින සැරවා හෝ ලේ මුහුණේ වෙනත් තැනක තැවරීමෙන් එම තැන්වල කුරුලෑ ඇතිවේයෑයි ඇතැමුන් තුළ බියක්‌ පවතී. මෙම තත්ත්වය පහදා දෙන්න.

මෙය අනවශ්‍ය බියවීමකි. කවදාවත් එසේ නොවේ. මක්‌නිසාදයත් කුරුලෑ ඇතිකරනා ප්‍රොපියනො බැක්‌ටර් ඇක්‌නිස්‌ (Propiono bacactor acnes) ලෙස හඳුන්වන බැක්‌ටීරියාව ඕනෑම කෙනෙකුගේ සම තුළ ස්‌වභාවිකවම ජීවත්වේ. කුරුලෑ ආසාදනයකදී සිදුවන්නේ මෙම බැක්‌ටීරියාව තෙල් පිරුණු ස්‌නේහස්‍රාවී ග්‍රන්ථි හා රෝම කූප අඩංගු ඒකකය තුළට රිංගා ප්‍රදාහයක්‌ ඇති කිරීමයි.

මෙම බැක්‌ටීරියාව කෙනෙකුගෙන් කෙනෙකුට බෝවීමක්‌ හෝ කෙනෙකුගේ ශරීරයේ වෙනත් තැනකට ගමන් කිරීමක්‌ හෝ කිසිවිටෙකත් සිදුනොවේ. එම නිසා කුරුලෑවල ඇති සැරවා හෝ ලේ මුහුණේ වෙනත් තැනක ගෑවීමෙන් එම තැන්වල කුරුලෑ ඇතිවීමක්‌ සිදුනොවේ.


කුරුලෑ නිසා මුහුණේ ඇති වූ වලවල් ස්‌වභාවය කාලයත් සමඟ ඉවත්වෙලා යනවාද?

මුහුණේ කුරුලෑ නිසා ඇති වූ වලවල් කාලයත් සමඟ ඉවත් නොවේ. නමුත් ඇතැම්විට මෙම වලවල් ස්‌වභාවය කාලයත් සමඟ වැඩිවන්නට පුළුවනි. එයට හේතුව වන්නේ කාලයත් සමඟ කොලජන් තන්තු හැකිලීමට භාජනය වීමයි. මේ හේතුවෙන් වලවල්වල ගැඹුර කාලයත් සමඟ වැඩිවෙනවා මිස අඩු නොවේ.


උපත් පාලන පෙති භාවිතයෙන් කුරුලෑ හටගැනීම වැඩිවේද?

කුරුලෑ ඇතිවීමට හේතුව වන්නේ ටෙස්‌ටෙස්‌ටෙරෝන් නැමැති පුරුෂ ලිංගික හෝමෝනයේ ක්‍රියාකාරීත්වය වැඩිවීමයි. එය හෝමෝන ප්‍රමාණය වැඩිවීමෙන් හෝ ස්‌නේහස්‍රාවී ග්‍රන්ථි සාමාන්‍ය හෝමෝන තත්aත්වවලට ආසාමාන්‍ය ලෙස ප්‍රතිචාර දැක්‌වීමෙන් විය හැකියි.

ටෙස්‌ටෙස්‌ටෙරෝන් හෝමෝන යට සමාන ගුණ ඇති හෝමෝනයක්‌ ලෙස ප්‍රජස්‌ටරෝන් හෝමෝනය ද වෛද්‍ය විද්‍යාව තුළ හඳුන්වයි. උපත් පාලන පෙතිවල ප්‍රෙජස්‌ටරෝන් හෝමෝනය තිබේ. එම නිසා විවාහක කාන්තාවන් උපත්පාලන පෙති ගැනීමට පෙළඹීමෙන් ඇතැම් විට කුරුලෑ ඇතිවීමක්‌ දැකගත හැකියි. නමුත් ඇතැමෙකුට කුරුලෑ නැතිවීමට උපත් පාලන පෙතිවල අඩංගු ප්‍රජස්‌ටරෝන් හෝමෝනය බලපෑ හැකිය. එවැනි අවස්‌ථාවක ඇන්ටි ඇන්ජනික්‌ ක්‍රියාකාරීත්වයක්‌ එම හෝමෝන මගින් සිදුවේ.


චර්ම රෝග විශේෂඥ වෛද්‍ය
අසෝක කමලදාස

සාකච්ඡා කළා - හරින්දී ලියනගේ

No comments:

Post a Comment

Total Pageviews

Advertise