Monday, February 28, 2011

ක්‍රිකට්‌ පොතෙත් නැති මෙතෙක්‌ නොදුටු සිද්ධියක්‌

ජාත්‍යන්තර ක්‍රිකට්‌ ක්‍රීඩාවේ මෙතෙක්‌ වාර්තා වී නැතැයි සිතිය හැකි සිද්ධියක්‌ පෙරේදා (26 දා) පැවැති ශ්‍රී ලංකාව සහ පාකිස්‌තානය අතර තරගයේදී දැක ගැනීමට හැකි විය. ශ්‍රී ලංකා පිතිකරු ඇංජලෝ මැතිව්ස්‌ එක්‌ පන්දුවාරයක අවසන් පන්දුවට හතරේ පහරක්‌ එල්ල කොට ඊට පසු යවන ලද පන්දුවාරයේදීත් නැවතත් පන්දුවට පහරදීම අදාළ සිදුවීම වෙයි.

ක්‍රිකට්‌ නීතියට අනුව පන්දුවාරයක අවසන් පන්දුවට පහර දුන් ක්‍රීඩකයා එක්‌ ලකුණක්‌ හෝ ලකුණු 3 ක්‌ ලබාගත හොත් පමණක්‌ ඉන් පසු ක්‍රියාත්මක කරන පන්දු වාරයේ පළමු පන්දුවට ක්‍රීඩා කිරීමේ අවස්‌ථාව එම පිතිකරුට හිමිවන නමුදු නැවතත් එම පන්දු වාරයට ඔහුට මුහුණදීමට අවස්‌ථාව සැලසෙන්නේ අනෙක්‌ පිතිකරු ලකුණක්‌ ලබා ගනිමින් පැති හුවමාරු කර ගත හොත් පමණි.

එහෙත් පාකිස්‌තාන කණ්‌ඩායමේ අබ්දූර් රෙහෙමාන් විසින් ක්‍රියාත්මක කරන ලද 43 වැනි පන්දුවාරයේ අවසන් පන්දුවට(මෙම පන්දුවාරයට මැතිව්ස්‌ සහ චාමර සිල්වා ලකුණු 14 ක්‌ ලබා ගැනීමට සමත්වූහ) ඇංජලෝ මැතිව්ස්‌ විසින් හතරේ පහරක්‌ එල්ල කරන ලදී. හතරේ පහරක්‌ එල්ල කිරීමේදී කිසි විටෙකත් පිතිකරුවන් පැති හුවමාරු කර නොගන්නා බැවින් ඊළඟ පන්දු වාරයේ පළමු පන්දුවට පහර දීමට නියමිතව තිබුණේ අනෙක්‌ අන්තයේ පිතිකරුවා වූ චාමර සිල්වාටය. එහෙත් පාකිස්‌තානු නායක ෂහිඩ් අෆ්රිඩි විසින් ක්‍රියාත්මක කරන ඊළඟ පන්දුවාරයේ(44 වැනි) පළමු පන්දුවටද ඇංජලෝ මැතිව්ස්‌ මුහුණදීම පුදුමය දනවන සිදුවීමක්‌ විය.

මෙම සිදුවීම සම්බන්ධයෙන් ලකුණු සටහන්කරුවන් මෙන්ම තරගයේ පන්දුවෙන් පන්දුව විස්‌තර විචාරය ගෙන එන ක්‍රිකට්‌ වෙබ් අඩවිද මහත් අපහසුතාවට පත්ව තිබේ. එහිදී ක්‍රිකට්‌ ක්‍රීඩාවේ නිල වෙබ් අඩෙවියද මේ සිදුවීම පිළිබඳව අදාළ විස්‌තර විචාරයේ වාර්තා කොට තිබේ.

එහිදී ප්‍රශ්නය වන්නේ තරගය විනිසුරුවන් කොතෙක්‌ දුරට කල්පනාකාරීව තම රාජකාරිය සිදුකරන්නේද යන්න පිළිබඳවයි.

මෙම තරගයේ ප්‍රධාන විනිසුරුවන් ලෙස එංගලන්ත ජාතික ඉයන් ගූල්ඩ්(එක්‌දින තරග 18 යි) සහ ඔස්‌ටේ්‍රලියානු ජාතික ඩැරල් හාපර්(එක්‌දින තරග 170 යි ටෙස්‌ට්‌ 94යි 20-20 තරග 10යි) කටයුතු කළ අතර තෙවැනි විනිසුරු ලෙස එංගලන්ත ජාතික නයිජල් ලෝන්ද අතිරේක විනිසුරු ලෙස නවසීලන්ත ජාතික ටෝනි හිල්ද කටයුතු කළහ. අදාළ තරගයේ තීරක ලෙස නවසීලන්ත ජාතික ක්‍රිස්‌ බ්‍රොඩ් කටයුතු කරන ලදී.

2 comments:

  1. Hafoi.. Sirada mata mathaka nane mehema scene ekak

    ReplyDelete
  2. ග්‍රී ලංකා ක්‍රිකට් ලෝලීයෙක්February 28, 2011 at 10:45 PM

    දැන් මොනවා කරන්න බං..අපේ කෝල්ලෝ ටික ඉදිරි තරග ටිකවත් හරියට සෙල්ලමි කරලා දින්නෝත් ඇති.....මේක හොද පාඩමක් කරගෙන පාකිස්ථානයට හමුවන තව පාරකට අමතක නොව තරගයක් දෙන්න කියලා ප්‍රර්ථානා කරමු..

    ReplyDelete

Total Pageviews

Advertise