අතීතය කාන්තා අයිතීන් ආරක්‌ෂා කිරීම ඉතා වැදගත් ලෙස සලකා තිබුණේ නැත. කාන්තාවන්ගේ මූලිකම වගකීම ලෙස ඉතිහාසයේ පටන් ම සැලකුවේ දරුවන් දරා සිටීම ඔවුන් පෝෂණය කර රැක බලා ගැනීම සහ පවුල් සංගමයේ පදනම ලෙස ක්‍රියාකිරීමයි. එම ක්‍රියාවලිය කරගෙන යාමේ දී ඇය තුළ සිදුවන වෙනස්‌කම් සහ ඇය මුහුණ දෙන ගැටලු සම්බන්ධව සමාජය සිතා බැලුවේ ඉතා අල්ප වශයෙනි. ඉතා අඩු වයසින දරුඵල දැරීමෙන් සහ වැඩි දරුවන් සංඛ්‍යාවක් ලැබීමෙන් ඇය තුළ ඇතිවන සෞඛ්‍ය ගැටලු සහ නිසි ලෙස අධීක්‌ෂණය නොවූ ගර්භනීය තත්ත්වයන් අවසානයේ ඇති වන මාතෘ මරණයන් පිළිබඳ සමාජය දැරුවේ පුදුමාකාර මතයකි. එනම් එය ඇයගේ ඉරණම හෝ දේව කැමැත්ත, ග්‍රහ දෝෂ හෝ වැදූගෙයි සන්නිය වැනි වචන මගින් එම තත්ත්වය විග්‍රහ කෙරුනි. මාතෘ මරණ හෝ ගර්භනී තත්ත්වයේදී ඇතිවන ගැටලු පාලනය කල නොහැකි ඒවා ලෙස සැලකුනි.
කාන්තා ප්‍රජනන සෞඛ්‍ය නීතිමය සහ සමාජීය වශයෙන් බොහෝ තර්ක විතර්ක වලට භාජනය වූ මාතෘකාවකි. කාන්තාව ගැබ් ගැනීම සහ රෝග සම්ප්‍රේෂණය වීම පාලනය කර ගනිමින් ලිංගිකව නිදහසේ හැසිරීම අප සමාජයේ සමාජීය හා සංස්‌කෘතිකමය. වශයෙන් පිළිනොගන්නා තත්ත්වයකි. මෙලෙස හැසිරීම මගින් ඇයගේ නිදහස අසීමිත වන බවත් ඒ මගින් පවුල් සංස්‌ථාවේ ආරක්‌ෂාව සහ ලිංගික සාරධර්ම බිද වැටෙන බව සමහරුන්ගේ මතය විය. පුරාණයේ මෙවැනි හේතුන් මත කාන්තා සෞඛ්‍ය කෙරෙහි කාන්තාවන්ගේ දැනුම සීමා කෙරිනි. කෙසේ වෙතත් අද සමාජය මීට වෙනස්‌ව කාන්තාව සමාජයේ ඉතා වැදගත් භූමිකාවක් රඟන තත්ත්වයක් දැන් ඇත. පෙර මෙන් නොව අද ආර්ථිකයට කාන්තාවන් මගින් ලැබෙන දායකත්වය ඉමහත්ය. ඇය දරුවන් බිහි කිරීමට අමතරව ඔවුන්ගේ පෝෂණය සහ ඉතා තරඟකාරි පරිසරයක ඔවුන්ගේ අධ්‍යාපනය කෙරෙහිද විශාල කාර්යය භාරයකට හවුල් වේ. මෙම විවිධ ආකාරයෙන් වූ වගකීම් වලට මුහුණ දෙන ඇයට ඇයගේ සෞඛ්‍ය, නිරෝගී බව සහ සුන්දර පෙනුම සඳහා යෙදිය හැකි කාලය අඩුවේ. වයස අවුරුදු 40 පමණ වන කාන්තාවකට ඉහත සඳහන් කල කාර්යයන් උපරිමයෙන් ඇත. මීට අමතරව වියපත් දෙමාපියන් රැකබලා ගැනීමද බොහෝ විට භාර වන්නේ දියණියන්ටය. සමාජීය වශයෙන් යෙදෙන වෙනත් වගකීම්ද මෙම කාලයේ ඉතා බහුලය. මේවා සඳහාද වැඩිපුර යෙදෙන්නේ ස්‌ත්‍රී පාර්ෂවයයි.
මේ සියලු කාර්යයන් සඳහා කාන්තාව ශක්‌තිමත් විය යුතුයි. මේ පිළිබඳව විමසිලිමත් වීම දැරියක කුඩා අවධියේ ම පටන් ගත යුතුයි. එනම් දියණියගේ පෝෂණය ගැන දෙමාපියන් දැනුවත්ව උනන්දු විය යුතුය. පැරැණන් අතර තිබූ ආකල්පය වූයේ පිරිමි දරුවෙකු හොදින් පෝෂණය කර ශක්‌තිමක් කළ යුතු බවයි. නමුත් ශාරීරික සෞඛ්‍ය සලකා බැලූ කල ගැහැනු දැරියන්ගේ පෝෂණය බාල අවධිsයේ පටන් ම විධිsමත්ව සිදුවිය යුතුය. මීට හේතු ගණනාවක් ඇත. ඇය තුළ සිදුවන පෝෂණ ඌණතා නිසා ඇයගේ වැඩීම බාල විය හැක. මෙය දිගින් දිගටම සිදුවීමෙන් වැඩිවියට පත්වන වයසේදී ඇගේ උසින් වර්ධනය වීම බාල විය හැක. උස අඩු කාන්තාවන්ට දරු ප්‍රසූතියේදී සමහර අපහසුතා ඇති වී දරු ප්‍රසූතියේදී සංකූලතා ඇති විය හැක. මෙය දරුවාට මෙන්ම මවගේ සෞඛ්‍ය තත්ත්වයටද හැනි කර විය හැක. ඊට අමතරව සිදුවිය හැකි මන්දපෝෂණ තත්ත්වයන් නිසා ඇය තුළ දරු ගැබක් පෝෂණය කිරීමට අවශ්‍ය ශක්‌තිය නැති විය හැක. විටමින් ඌණතා සහ යකඩ ඌණතා නිසා ලේ මද කම ඇත්නම් ප්‍රසූතියේදී අධික රුධිර වහනය වීමෙන් මාතෘ මරණ පවා සිදුවිය හැක.
තවද වෙනත් රෝග එනම් හෘද රෝග, අධික රුධිර පීඩනය, දියවැඩියාව වැනි ගැටලු සහිත තත්ත්වයන් ඇත්නම් මේවා නිසාද ගර්භනීය තත්ත්වයේදී සංකූලතා ඇතිවිය හැක. මේ සියල්ල ඇයගේ සාමාන්‍ය සෞඛ්‍ය තත්ත්වයට ඇති කරන්නේ නිරන්තර තර්ජනයකි. වැඩිවියට පැමිණෙන වයසේදීද දැරියගේ පෝෂණය ඉතා වැදගත්ය. විශේෂයෙන්ම මල්වර විමත් සමග මාසිකව සිදුවන රුධිර ගැල්ම මගින් යම් රුධිර ප්‍රමාණයක් ඇයගෙන් පිටවන බව මතක තබා ගත යුතුයි. මේ සියල්ලටම අමතරව සෑම කාන්තාවකටම සාමාන්‍ය අධ්‍යාපනයක් ලබාදීම වැදගත්ය. මේ මගින් ඇය තමාගේ පෝෂණ අවශ්‍යතා සහ තමාගේ ජීවිතයේ විවිධ අවස්‌ථා වලට බලපාන කාන්තා සෞඛ්‍ය පිළිබඳ මනා අවබෝධයක් ලබා ගැනීමට නිසි පදනමක් ලැබේ. සෑම කාන්තාවක් විසින්ම තම සෞඛ්‍ය පිළිබඳව ලබාගත යුතු අවම දැනුමක්a ඇත. මේවා සම්බන්ධ මූලික දැනුමවත් පාසල් අවධියේදී ලබාදිය හැකි නම් එය කාන්තා ජනගහනයේ සෞඛ්‍ය ඉහළ නැංවීමට මහත් රුකුලක් වනු ඇත.
වෛද්‍ය චම්පා නෙල්සන්
No comments:
Post a Comment