Friday, March 4, 2011

එන්න පැටියො කුක්‌කු බොන්න

ප්‍රසූත නිවාඩු යනු සේවකයකු ආයතනයකින් ලබන දීමනාවක්‌ වන අතර මෙය පඩි සහිත හෝ පඩි රහිත විය හැකිය. මෙම නිවාඩු ලබා දෙන්නේ මුලිකව ම ළදරුවා සඳහා කාලය යෙදවීම සඳහා වන අතර මව්කිරි දීම දිරිමත් කිරීම සඳහා මෙම නිවාඩු ක්‍රමය බොහෝ සේ ප්‍රයෝජනවත් වේ. මෙම නිවාඩු අප රටේ ලැබෙන්නේ මවට පමණක්‌ වන නමුත් සමහර රටවල පියාට ද දරු ප්‍රසූතියෙන් පසු නිවාඩු ලබා ගැනීමේ අයිතිය ඇත. මෙම නිවාඩු සඳහා විවිධ රටවල විවිධ නීති අනුගමනය කෙරේ. මව මෙන් ම පියා දරුවා වෙනුවෙන් කාලය ගත කරන බැවින් සහ පියාට දරුවා සම්බන්ධව වගකීමක්‌ ලබා දීමේ ක්‍රමයක්‌ ලෙස බොහෝ බටහිර රටවල මෙම නිවාඩු පියාටද අනුමත කෙරේ. සමහර රටවල මෙම නිවාඩු නීති ගත කර තිබුණද සමහර සේව්‍යයන් ඒවා ගැන තැකීමක්‌ කරන්නේ නැත.

ප්‍රසූත නිවාඩු වල වැඩි ම වාසිය ලැබෙන්නේ මව්කිරි දීමේ කාලය වැඩි කිරීම සඳහා ය. ලංකාවේ නීතියට අනුව පළමු දරුවන් දෙදෙනා සඳහා මවකට දින 84 ක පඩි සහිත ප්‍රසූත නිවාඩු සඳහා අයිතිය ඇත. මේ සඳහා ජීවී දරු උපතක්‌ සිදු විය යුතුයි. තුන්වන දරු උපත සඳහා එනම් දරුවන් දෙදෙනෙකු සිටින මවකට හිමි වන්නේ දින 42 ක ප්‍රසූත නිවාඩු කාලයකි. නමුත් දරුවන් දෙදෙනෙකු ප්‍රසූත කළ නමුත් එක්‌ දරුවකු පමණක්‌ ජීවත් වන්නේ නම් එවැනි මවකටද දින 84 ක ප්‍රසූත නිවාඩු කාලයකට අයිතිය ඇත. මේ සඳහා අදාළ තොරතුරු සේව්‍යයා වෙත දැනුම් දීම සේවකයාගේ යුතුකමකි. මෙලෙස ම නිවුන් දරුවන් දෙදෙනෙකු ලැබූ මවකට තුන්වෙනි දරු ප්‍රසූතියේදී ලැබෙන්නේ දින 42 ක ප්‍රසූත නිවාඩුවකි. එනම්, වැදගත් වන්නේ දරුවන් කී දෙනෙකු ජීවත්ව ඇත් ද යන්නයි.

මාතෘ සුබසාධන ආඥාපනත (1941) මගින් මෙම කරුණු නීතිගත කර ඇත. කාන්තාවකට දරු ප්‍රසූතිය සඳහා සේව්‍යයා හෝ හාම්පුතුන් මගින් ඉටු විය යුතු සියළු යුතුකම් මෙහි සඳහන් වී ඇත. කිසි ම කාන්තාවක්‌ දරු ප්‍රසූතියෙන් සති 4 ක්‌ ඇතුලත සේවයේ යෙදවීම මෙම පනතට අනුව සිදු කළ නොහැක. උපරිම පඩි සහිත ප්‍රසූත නිවාඩු ප්‍රමාණය සති 12 ක්‌ වන්නේ එක ම දරුවකු හෝ නොමැති හෝ එක්‌ දරුවකු පමණක්‌ සිටින මවකටය.

මෙම සති 12 න් සති 2 ක්‌ ප්‍රසූතියට පෙර ලබා ගැනීමට ඇයට අයිතිය ඇත. දරුවන් දෙදෙනෙකුට වැඩියෙන් සිටින මවකට සහ ප්‍රසූතියෙන් ජීවී දරුවන් නොලබන මවකට හිමි වන්නේ ප්‍රසූත නිවාඩු සති 6 ක්‌ පමණි. මෙයද සති 2 ක්‌ දරු ප්‍රසූතියට පෙර භාවිතා කිරීමට ඇයට අයිතිය ඇත. නමුත් මාතෘ මරණයක්‌ සිදු වුව හොත් එම මව වෙනුවෙන් මෙම වරප්‍රසාදය ලැබෙන්නේ මරණය සිදු වූ දින දක්‌වා පමණි.

මෙම පනත මඟින් සියලුම අංශ වල සේවයේ යෙදෙන කාන්තාවන්ගේ සුබසාධනය ගැන සළකා ඇත. වතු කම්කරුවන් සම්බන්ධව ද මෙම නීතිය බලපානු ලැබේ. මව්කිරි දීම සඳහා නිවාඩු ලබාදීම විශේෂයෙන් ප්‍රයෝජනවත් වුවද මව්වරුන් ඒ සඳහා යොමු කිරීම තවත් වැදගත් දෙයකි. මේ අතර මව්කිරි දීම සඳහා සේවා කාලයෙන් පැයක්‌ හෝ 2 ක්‌ විශේෂයෙන් ලබා දීමද මෙම දිරිමත් කිරීමේ තවත් පියවරකි. මව්කිරි දීම සම්බන්ධව මව්වරුන් දැනුවත් කිරීම සඳහා විවිධ ක්‍රියා මාර්ග ක්‍රියාත්මක වේ. මේ අතුරින් ගර්භණී මව්වරුන් සඳහා පැවැත්වෙන සායන විශේෂ තැනක්‌ ගනී. මෙම සායන වලදී පවුල් සෞඛ්‍ය නිලධාරීනීන් හෝ හෙදි සොයුරියන් මගින් මව්කිරි දීම සම්බන්ධව ගැබිණි මව්වරුන් දැනුවත් කිරීම කරනු ලැබේ. මව්කිරි වල ගුණය, දරුවාට ඉන් ලැබෙන විශේෂ වාසි සහ මව්කිරි දීමේ දී තන පුඩුවේ සීරීම් ඇති වීමෙන් ඇති වන වේදනාව පිළිබඳව මව්වරුන් දැනුවත් කළ යුතුයි. නැතහොත් එවැනි අවස්‌ථා වල කිරි එකතු වීමෙන් පියයුරු තුළ ඉතා වේදනාකාරී තත්ත්වයන් ඇති වේ. මෙවැනි තත්ත්වයන් වළක්‌වා නිවැරදි අයුරින් මව්කිරි දීම සඳහා මව්වරුන් දැනුවත් කිරීම වැදගත් ය. තනපුඩුව තුවාල වීම වැළැක්‌වීමට සහ දරුවාට නිවැරදි ලෙස මව්කිරි ලබාදීමට තනපුඩුව නිසි ලෙස දරුවාගේ කටට ඇතුල් කළ යුතු ආකාරය මව්වරුන් ගැබිණි අවධියේදිම අවබෝධ කරදීම ඉතා වැදගත් ය. නොඑසේ නම් ඉතා ළදරු දරුවකු සමඟ ගෙදර ගිය පසු එම මව ගැටළු ගණනාවකට මුහුණපානු ඇත.

සමහර මව්වරුන්ට ප්‍රසූතියෙන් මුල් දින කිහිපය තුළ දරුවා කිරි උරා බොන අවස්‌ථා වල යටිබඩෙහි වේදනා ඇතිවන අවස්‌ථා ඇත. මීට හේතුව ගර්භාෂය සංකෝචනය වීමයි. මේ පිළිබඳව මව දැනුවත් කර තැබීමෙන් ඇයට එම වේදනාව ඉවසා ගැනීම පහසු වේ. මව්කිරි දීමෙන් මවකට ඇතිවන වාසීන් ඇයට පහදා දිය යුතුය. දරු ප්‍රසූතියෙන් පළමු මාස 6 තුළ දරුවාට මව්කිරි පමණක්‌ ම ලබා දෙන මවකට ඇගේ ඔසප් වීම තවම ඇතිවී නැත්නම් එම කාලය තුළ ඇයට උපත් පාලනය ගැන සිතීම අවශ්‍ය නොවේ. එනම් එවැනි මවක තුළ පියයුරු පිළිකා වැළඳිමේ ප්‍රවණතාවය අඩුබව සනාථ වී ඇත. මේ අනුව, මව්කිරි දීමෙන් මවටද පියයුරු පිළිකා වලින් ආරක්‌ෂා වීමක්‌ සිදු වේ.

වෛද්‍ය
චම්පා නෙල්සන් ලියයි

No comments:

Post a Comment

Total Pageviews

Advertise