Thursday, January 27, 2011

ආණ්ඩුවට හරි පාර පෙන්නන්න එජාපයට සහය දෙන්න

ආණ්ඩුවට නිවැරදි මාර්ගය පෙන්වාදීම සඳහා මෙවර මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයට සහයෝගය ලබාදෙන ලෙස එක්සත් ජාතික නියෝජ්‍ය නායක කරූ ජයසූරිය මහතා පවසයි.

මෙවර පළාත් පාලන මැතිවරණය මගින් ආණ්ඩුව පෙරළිය නොහැකි වුවද ජනතාවට පණිවිඩයක් ලබාදිය හැකි බව ද ඔහු පෙන්වාදෙයි.

එමෙන්ම ඉතිහාසයේ ප්‍රථමවරට එක්සත් ජාතික පක්ෂය තනි පක්ෂයක් ලෙස දිවයිනේ සෑම කොට්ඨාශයකින්ම පළමුවරට මෙවර මැතිවරණය සඳහා තරගවදින බව අද(27) කොළඹ පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ජයසූරිය මහතා ප්‍රකාශ කළේය.

නිදහස් පක්ෂ සාමාජිකයින්ද මැතිවරණය සඳහා එක්සත් ජාතික පක්ෂ අපේක්ෂකත්වය ඉල්ලා සිටි මුත් එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකයින්ට අවස්ථාව ලබාදීමට සිදුවූ නිසා ඔවුන්ට අපේක්ෂකත්වය ලබාදීමට නොහැකි වූ බව ඔහු සඳහන් කළේය.

මෙවර පළාත් පාලන මැතිවරණය රජයට වාසි ප්‍රදේශ වල පමණක් පැවැත්වීමට රජය තීරණය කර ඇති බවට ද කරූ ජයසූරිය මහතා වැඩිදුරටත් අවධාරණය කර සිටියේය.

බීමතින් අනතුරකට ලක්ව රෝහල් ගියොත්.........

බීමත්කම නිසා හදිසි අනතුරුවලට ලක්ව රෝහලගත වන රෝගීන්ගෙන් රුපියල් දෙදහක රෝහල් බිලක් අය කර ගැනීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගනියි. ඒ අනුව ලබන මස පළමුවැනිදා සිට මෙම තීරණය ක්‍රියාත්මක කෙරෙන අතර බීමත්කමින් රෝහල් ගත වන අයගේ බිල අය කරන චක්‍රලේඛයේ ප්‍රථම පියවර ලෙස මෙය ක්‍රියාත්මක වේ.
විශේෂයෙන්ම මාර්ග අනතුරකදී වාහනය පැද වූ පුද්ගලයා අනතුරට ලක්වීමට හේතුව මත්පැන් පානය කිරීම බව වෛද්‍යවරුන් සනාථ කළහොත් මෙසේ රෝහල් බිල අයකර ගැනීම කෙරෙයි. මෙම ක්‍රියාවලියේ මූලික පියවර ලෙස රුපියල් දෙදහසක මුදලක් අයකර ගැනීම සිදුකරන අතර පසුව රෝගීයාව සුව කිරීමට රෝහලෙන් ලබාදෙන සියලු ප්‍රතිකාරවලට සම්පූර්ණ මුදලම අය කිරීමටද සෞඛ්‍ය අමාත්‍යාංශය කටයුතු යොදා ඇත.
බොරැල්ල දකුණ බටහිර බෙහෙත් ශාලාව පෙරේදා (25) විවෘත කිරීමේ අවස්ථාවට සහභාගි වෙමින් සෞඛ්‍ය ඇමැති මෛත්‍රීපාල සිරිසේන මහතා මේ බව ප්‍රකාශ කළේය. බීමත්කම නිසා රෝගී වී රෝහල්ගත වන පුද්ගලයන්ගේ රෝහල් බිල මුළුමනින්ම අයකර ගැනීම සඳහා නීතිපතිවරයා සමඟ වැඩිදුරටත් සාකච්ඡා කරන ලෙසට සෞඛ්‍ය ඇමැති මෛත්‍රීපාල සිරිසේන මහතා, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාට උපදෙස් ලබාදී තිබේ.

Tuesday, January 25, 2011

හොර රහසේ අසැබි චිත්‍රපට හා ඡායාරූප විකුණූ අයෙක් කොටුවෙයි

තෙල්දෙණිය පොලීසිය ඉදිරිපිට නීතිවිරෝධී අයුරින් ඉතා රහසිගත ලෙස අසභ්‍ය චිත්‍රපට හා අසභ්‍ය ඡායාරූප අලෙවි කිරීමේ ව්‍යාපාරයක් පවත්වාගෙන ගිය පුද්ගලයෙකු තෙල්දෙණිය පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරු විසින් දීර්ඝ කාලයක සිට පරිගණකයක දෘඪ තැටියෙහි අසභ්‍ය චිත්‍රපට හා ඡායාරූප සූක්ෂ්මව සඟවා තබා ගනිමින් ඒවා ඉල්ලුම් කරන පාරිභෝගිකයින් වෙත චිත්‍රපට හා ඡායාරූප අලෙවි කර ඇති බව අනාවරණය වී ඇති බව අද දෙරණ වාර්තාකරු සඳහන් කරයි.

තෙල්දෙණිය පොලිස් ස්ථානාධිපති, ප්‍රධාන පොලිස් පරීක්ෂක ඩී. ඩබ්ලිව්. සී. ධර්මරත්න මහතා විසින් ඊයේ(24) පෞද්ගලිකව සිදුකරන ලද වැටලීමකින් පසු 25 හැවිරිදි අදාළ සැකකරු හා ඔහු භාවිත කළ පරිගණකය අත්අඩංගුවට ගෙන ඇති බව ද සඳහන්ය.

සැකකරු අද(25) තෙල්දෙණිය අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

චෙන්නායි බෞද්ධ විහාරයට ප්‍රහාරයක්

ඉන්දියාවේ,චෙන්නායි හි පිහිටි මහා බෝධි බෞද්ධ විහාරයට ඊයේ(24) රාත්‍රීයේ කිසියම් පිරිසක් විසින් පහර දී ඇතැයි වාර්තා වේ.

ඊයේ රාත්‍රි 10.00 ට පමණ මහා බෝධි විහාරයට ඇතුළු වූ පිරිසක් විහාරස්ථානයේ ගොඩනැගිලි වලට අලාභ හානි සිදුකරමින් එහි වැඩ වාසය කළ භික්ෂූන්ට පහරදී ඇතැයි සඳහන් වේ.

තුවාල ලැබූ ‍බෞද්ධ භික්ෂූන් තිදෙනෙකු චෙන්නායි හි පිහිටි පෞද්ගලික රෝහලකට ඇතුළත් කර ඇති අතර ශ්‍රී ලාංකික භික්ෂූන් දෙදෙනෙකු හා එක් නේපාල ජාතික භික්ෂූවක ඒ අතර වන බව චෙන්නායි හි ශ්‍රී ලංකා නියෝජ්‍ය මහ කොමසාරිස් වී. ක්‍රිෂ්ණමූර්ති මහතා සඳහන් කරයි.

තත්ත්වය මේ වන විට පාලනය කර ඇතත්,සිද්ධිය සම්බන්ධයෙන් කිසිවෙකුත් මෙතෙක් අත්අඩංගුවට ගෙන නැත.

මෙම ප්‍රහාරය සඳහා පුද්ගලයින් 10 -15 ක් පමණ සහභාගි වී ඇතැයි වාර්තා වී ඇති බව ද සඳහන්ය. මේ වන විට විහාරස්ථානය අවට ආරක්ෂාව තර කර ඇති බව ද ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

Sunday, January 23, 2011

ළමා නිවාස වල අපයෝජන

දිවයින පුරා ඇති සියලු ළමා නිවාස වල කටයුතු විශේෂ පරීක්ෂාවට‍ ලක්කරන බව ජාතික ළමා රක්ෂණ අධිකාරිය පවසයි.

ළමා නිවාස වල දී ළමුන්ට සිදු වන අපයෝජන සම්බන්ධයෙන් ලැබෙන පැමිණි ඉහළ ගොස් ඇති බව ජාතික ළමා රක්ෂණ අධිකාරියේ සභාපති නීතීඥ අනෝමා දිසානායක මහත්මිය ප්‍රකාශ කළාය.

මේ වන විට ළමා නිවාස වල වගකිවයුත්තන් 06 දෙනෙකු අධිකරණ මගින් රිමාන්ඩ් භාරයට පත්කර ඇති බවත්,මෙය ශෝචනීය තත්ත්වයක් බවත් ඇය අද දෙරණට කියා සිටියාය.

ළමුන්ගේ උපරිම යහපත සලකා ඒ වෙනුවෙන් ක්‍රියා කරන ලෙස සියලුම ළමා නිවාස වල පාලක පාලිකාවන්ගෙන් තමා ඉල්ලා සිටින බවද ඇය සඳහන් කළාය.

වෙනදාට වැඩියෙන් කාර්යක්ෂමව වැටලීම් කටයුතු සිදුකිරීමට ජාතික ළමා රක්ෂණ අධිකාරිය කටයුතු කරමින් සිටින බවද නීතීඥ අනෝමා දිසානායක මහත්මිය වැඩිදුරටත් ප්‍රකාශ කළාය.

ශ්‍රී ලංකාවට තදින් අවවාද කළ යුතුයි -වයිකෝ

ශ්‍රී ලංකාව නාවික හමුදාව විසින් තමිල්නාඩු ධීවරයින්ට ප්‍රහාරයන් සිදුකරන බව කියන චෝදනා සම්බන්ධව ඉන්දියාව තදබල ලෙස අවධානය යොමුකළ යුතු බව ඉන්දියාවේ එම්. ඩී. එම්. කේ පක්ෂ නායක වයිකෝ පවසයි.

එමෙන්ම අදාළ සිදුවීම් සම්බන්ධව ශ්‍රී ලංකාව දැඩි ලෙස අවවාද කළ යුතු බව ද ඉන්දීය අග්‍රාමාත්‍ය මන්මෝහන් සිං මහතා සමග පැවති හමුවකදී ඔහු සඳහන් කර ඇත.

එමෙන්ම ඉන්දීය නාවික හමුදාව හා වෙරළාක්ෂක නිලධාරීන් සිය රටේ ධීවර ජනතාව ආරක්ෂා කිරීමට අසමත්ව ඇති බවටත් වයිකෝ චෝදනා කර ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

ධීවරයින්ට එල්ලවන ප්‍රහාර සම්බන්ධව ශ්‍රී ලංකා රජය සමග දැඩි ලෙස අවධානය යොමුකිරීම හෝ ශ්‍රී ලංකාවට දැඩි ලෙස අවවාද කිරීම ඉන්දීය රජයේ කාර්යයක් නොවේදැයි හෙතෙම ප්‍රශ්න කර ඇති බව ද සඳහන්ය.

ලාහෝර් ප්‍රහාරය -සැලසුම ශ්‍රී ලංකා ක්‍රීඩකයින් පැහැරගැනීමයි

2009 වසරේ පකිස්ථානයේ ලාහෝර් නුවරදී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට එල්ල වූ ත්‍රස්තවාදී ප්‍රහාරයේ ප්‍රධාන අරමුණ වූයේ ශ්‍රී ලංකා ක්‍රීඩකයින් පැහැරගැනීම බව අදාළ සිද්ධියේ ප්‍රධාන චූදිතයකු අනාවරණය කර තිබේ.

එම සාමාජිකයින් ප්‍රාණ ඇපකරුවන් ලෙස තබාගෙන එම ප්‍රහාරය සංවිධානය කරන ලද ලෂ්කර් ඊ ජන්ග්ව් ත්‍රස්තවාදී කණ්ඩායමෙහි අත්අඩංගුවේ පසුවන සාමාජිකයින් මුදවාගැනීම අරමුණ වූ බව ද ඔහු සඳහන් කර ඇත.

ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහි ත්‍රස්තවාදී ප්‍රහාරය වසිරිස්ථානයේදී සැලසුම් කරන ලද බව ද, ඒ සඳහා සාමාජිකයින් 12 දෙනෙකු සූදානම් කළ බව ද දැනට රැඳවුම් භාරයේ සිටින අබ්දුල් වහබ් හෙවත් ඕමාර් ප්‍රකාශ කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මෙම මෙහෙයුම සඳහා අදාළ ස්ථානයට රික්ෂෝ රථ හා යතුරු පැදි වලින් පැමිණි බවත්, මෙහෙයුම සඳහා අවශ්‍ය පුහුණුව වසිරිස්ථානයේදී ලැබූ බවත් ඔහු වැඩිදුරටත් අනාවරණය කර තිබේ.

2009 මාර්තු මස පකිස්ථානයේ ලාහෝර් නුවරදී ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් ගමන් ගත් බස් රථයට එල්ල වූ මෙම ත්‍රස්තවාදී ප්‍රහාරයෙන් ශ්‍රී ලාංකික ක්‍රීඩකයින් 5දෙනෙකු තුවාල ලැබූ අතර පකිස්ථාන පොලිස් නිලධාරීන් 6 දෙනෙකු සහ වෑන් රථ රියදුරෙකු මරණයට පත්විය.

එක්සත් ජාතීන්ගේ කමිටුව, ජනපති සමග සාකච්ඡා කරන්නේ නෑ

අමෙරිකාවේ පෞද්ගලික සංචාරයක නිරතව සිටින ශ්‍රී ලංකා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සමග එක්සත් ජාතීන්ගේ විද්වත් කමිටුව සාකච්ඡා නොකරන බව එක්සත් ජාතීන්ගේ සංවිධානය තහවුරු කර තිබේ.

අදාළ කමිටුවේ කිසිදු සාමාජිකයකු හමුවීම සඳහා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සැලසුම් කර නොමැති බව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම්වරයාගේ මාධ්‍ය ප්‍රකාශක මාර්ටින් නෙසර්කි සඳහන් කරයි.

පසුගිය බදාදා දින විදේශ කටයුතු අමාත්‍ය ජී. එල්. පීරිස් මහතා සමග ජනාධිපති රාජපක්ෂ මහතා පෞද්ගලික සංචාරයක් සඳහා අමෙරිකා එක්සත් ජනපදය බලා පිටත්ව ගියේය.

මම අත්අඩංගුවේ -මන්ත්‍රී කියයි, අත්අඩංගුවේ නෑ -පොලිසිය කියයි

නැගෙනහිර පළාත් සභා මන්ත්‍රී පී. ප්‍රශාන්තන් මහතා තවමත් අත්අඩංගුවට ගෙන නොමැති බව පොලිසිය පවසයි.

ආරියම්පති ප්‍රදේශීය ලේකම් ධනපාල සුන්දරම් මහතාට පහර දුන් බවට එල්ල වී ඇති චෝදනාවක් සම්බන්ධයෙන් ඔහු අත් අඩංගුවට ගැනීම සඳහා පරීක්ෂණ සිදුකෙරෙන බව මඩකළපුව ප්‍රදේශය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අයි එම් කරුණාරත්න මහතා සඳහන් කළේය.

නමුත් අදාළ සිද්ධිය සම්බන්ධව සැකකරුවන් සිව්දෙනෙකු පොලීසියට බාරවී ඇති බව ද අද දෙරණ වෙත අදහස් දක්වමින් ඒ මහතා ප්‍රකාශ කළේය.

ජල ගැලීම් වලින් පීඩාවට පත් වූ මඩකළපු දිස්ත්‍රික්කයේ ජනතාවට ලබාදුන් සහනාධාර වංචා කළ බවට චෝදනා කරමින් ටී. එම්. වී. පී පක්ෂයේ පළාත් සභා මන්ත්‍රිවරයා පසුගිය සඳුදා ආරියම්පති ප්‍රාදේශීය ලේකම්වරයාට පහරදුන් බව වාර්තා විය.

එවැනි පහරදීමේ සිද්ධියක් සිදුවු බවත් ඒ සම්බන්ධයෙන් පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබු බවත් ආරියම්පති ප්‍රාදේශීය ලේකම් ධනපාල සුන්දරම් මහතා මීට පෙර අද දෙරණට ප්‍රකාශ කර තිබුණි.

නමුත් තමන් මේ වනවිට කාත්තන්කුඩි පොලිස් අත්අඩංගුවේ පසුවන බව මේ සම්බන්ධව අද දෙරණ කළ විමසීමකදී ප්‍රශාන්තන් මහතා අවධාරණය කර සිටියේය

අසැබි ෆොටෝ අන්තර්ජාල ගත කළ අයට එරෙහිව නීතිපති උපදෙස්

මෙරට සංචාරක ප්‍රවර්ධන කටයුතු කඩාකප්පල් කිරීමට කුමන්ත්‍රණය කළේ යැයි කියන සැකකරුවන් සිව්දෙනෙකුට එරෙහිව නඩු පැවරීම සඳහා නීතිපති උපදෙස් ලබාගැනීමට ක්‍රියා කර ඇතැයි රහස් පොලිසිය කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දී තිබේ.

පසුගිය වසරේ හික්කඩුව වෙරළ තීරයේ පැවති සංචාරක ප්‍රවර්ධන වැඩසටහනකට අදාළව අසභ්‍ය ඡායාරූප අන්තර්ජාලයට මුදාහැරිමේ චෝදනා මත මෙම සැකකරුවන් සිව්දෙනා අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කළ අතර පසුව ඔවුන් ඇප මත මුදා හැර තිබුණි.

අධිකරණයට වාර්තාවක් ඉදිරිපත් කරමින් රහස් පොලිසිය සඳහන් කර ඇත්තේ අන්තර්ජාලයට මුදාහළ අදාළ අසභ්‍ය ඡායාරූප මෙම සැකකරුවන්ගේ පරිගණක යන්ත්‍රවල සිට ඍජුවම මුදාහැර ඇති බවට පරීක්ෂණවලදී තහවුරු වී ඇති බවයි.

මෙම පරීක්ෂණවලට අදාළ සියලු වාර්තා නීතිපතිවරයා වෙත යොමු කර ඇති බව සඳහන් කළ රහස් පොලිසිය, නීතිපති උපදෙස් ලැබීමෙන් පසු ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බව ද අධිකරණයට දැනුම් දී තිබේ
.

Saturday, January 8, 2011

විශ්ව විද්‍යාල සිසුන්ට හමුදා පුහුනුවක් දීමට යයි...ලොල්

රජයෙන් පිරිනමන ශිෂ්‍යත්ව මත මෙරට විශ්වවිද්‍යාලවලට පැමිණෙන විදේශ සිසුන් සඳහා මාසිකව රුපියල් තිස්‌දහස බැගින් ලබා දෙන බව උසස්‌ අධ්‍යාපන ඇමැති එස්‌. බී. දිසානායක මහතා පැවසීය.

මෙම වසරේ සිට විදේශ සිසුන් එකසිය පනස්‌ දෙනකුට ශිෂ්‍යත්ව පිරිනමන බවද ඇමැතිවරයා කීවේය.

ඒ මහතා මේ බව සඳහන් කළේ උසස්‌ අධ්‍යාපන අමාත්‍යංශයේ 05 වැනිදා පැවැති මාධ්‍ය හමුවේදීය.

විශ්වවිද්‍යාල සිසුන් දස දහසකට දුරස්‌ථ අධ්‍යාපන ක්‍රමය යටතේ ඇමරිකාවේ සිට මෙහෙයවන ඉංග්‍රීසි පාඨමාලාවක්‌ අන්තර්ජාලය ඔස්‌සේ හැදෑරීම සඳහා අවස්‌ථාව සලසන බවද සිසුන් සඳහා ඉංග්‍රීසි විභාගයක්‌ පවත්වා ඔවුන් හඳුනා ගැනීමේ වැඩසටහනක්‌ ක්‍රියාත්මක කරන බව ද ඇමැතිවරයා සඳහන් කළේය.

සෑම විශ්වවිද්‍යාලයකින්ම මසකට වරක්‌ ශාස්‌ත්‍රීය සංග්‍රහයක්‌ බැගින් එළි දැක්‌වීමේ වැඩසටහනක්‌ සංවිධානය කර ඇති බවත් විශ්වවිද්‍යාලවල හොඳම ආචාර්යවරුන්ට හා සිසුන්ට සම්මාන පිරිනැමීමේ වැඩපිළිවෙළක්‌ ක්‍රියාවට නගන බවත් සඳහන් කළ එස්‌. බී. දිසානායක මහතා මේ වසරේදී පෞද්ගලික විශ්වවිද්‍යාල ගණනාවක්‌ ආරම්භ කිරීමට නියමිත බවත් කියා සිටියේය. ජපානය, චීනය, ඉන්දියාව වැනි රටවල් මගින් මෙම විශ්වවිද්‍යාල ආරම්භ කෙරෙන බව ද ඒවාට ඇතුළත් කිරීමට නියමිත සිසුන්ගෙන් සියයට විස්‌සක කොටසක්‌ ශ්‍රී ලංකාවේ සිසුන්ට ලබාදීමට ඔවුන් එකඟ වී ඇතැයි ද දිසානායක මහතා පැවසීය.

මෙම වසරේ සිට විශ්වවිද්‍යාලවලට ඇතුළත් වන සිසුන් සඳහා යුද හමුදා කඳවුරුවල දී සති තුනක නායකත්ව පුහුණුවක්‌ ලබා දෙන බවත් ඇමැතිවරයා සඳහන් කළේය.

උසස්‌ අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් ආචාර්ය සුනිල් ජයන්ත නවරත්න මහතා ද මෙම මාධ්‍ය හමුවට එක්‌ විය.

Total Pageviews

Advertise