Monday, November 22, 2010

අලුත් කැබිනෙට්ටුව

වටින් පිටින් සෑහෙන්න කථා ඇහෙන තවත් දවසක් ඔන්න උදා උනා. කවුරුත් දන්නවනෙ ඔන්න අපේ ජනාධිපතිතුමාගෙ දෙවෙනි පදවි ප්‍රාප්තියත් එක්කම අලුත් කැබිනෙට්ටුවක් දානවයි කිව්වනෙ. ඔන්න ඉතින් දැන් ටිකකට කලින් කොහොම හරි අමාරුවෙන් කැබිනෙට්ටුව ඇතුලට අලුත් කස්ටියකුත් රින්ගවල. ඇයි ඉතින් ජනාධිපතිතුමගෙ දෑත් සවිමත් කරන්න ස්වේච්චාවෙන්ම (සල්ලි එහෙම ගත්තෙම නෑ) ආපු අයටත් සලකන්න එපැයි.
ස්නූපර්ටත් ඉතින් නිකන් ඉන්න බෑ නෙව, ඔවා මෙවා ගැන ජන්ජාලයේ වටින් පිටින් බල බල යනකොට හොද කොමෙන්ටු ටිකක් හම්බුනා. ඔන්න එහෙනම් අවසරයි මහජනතාවගේ අදහස් වලට.


නිර්ණාමික පුද්ගලයෙක්
"ජන සුව සදන ආණ්ඩුවේ කෙරුම්... සාමාන්‍ය මිනිහට මොනවායින් කියලා අඩුවක් ද ඉතින් දැන්... කොච්චර කාලයක් බලාපොරොත්තු වුන අන්තිම වෙනසත් ලැබුණා නොවැ දැන්.....
ආණ්ඩුවේ මහ පුටුවේ ඉන්න රාජෝත්තමයාණන් වහන්සේගේ උපන්දිනය උත්සවය,දෙවන පදවි ප්‍රාප්තිය හා ඊට සමගාමි අනෙකුත් වැඩ සටහන් සඳහා පමණක් රුපියල් කෝටි 100 මුදලක් වියදම් කරන්න තරම් මේ ආණ්ඩුව කොච්චර නිහතමානීද. එදා වේල කන්න නැති හරියාකාරව ජිවත් වෙන්න බැරි ආර්ථිකයක් තියෙන රටක මේ පාලකයෝ තරම් මහජනතාවගේ හිතසුව පිණිස කටයුතු කරන වෙනත් රටක් නැති තරම්.
වැටුප් වැඩීවීම් ගැන සුත්‍රයන් පෙන්නලා වැයවෙන මුදල් වල ප්‍රමාණය ගැන පම්පොරි ගහන මුන් කොහෙවත් නැති කසිකබල් වැඩවලට වියදම් කරන මුදල් ගැන අඩුතරමේ මූන්ට බලේට එන්න ඡන්දය දුන්න ගොබ්බයන්ටවත් වැටහීමක් නැති තරම. 
කාලයක් යුද්ධය විකුණගෙන කෑවා.කවුරුහරි කියන්න පුළුවන් කොහොම හරි තිස්අවුරුදු යුද්ධයක් නැති කරලා රටම නිදහස් කරගත්ත එකම ඇති කියලා.නමුත් පාලක පක්ෂයේ ඉහල සිට ආරක්ෂක අංශ වල ඉහල අයත් සමඟ මේ රටේ දුප්පත් මිනිහත් ඒ වෙනුවෙන් ලොකු කැපවීමක් කළා.තුවක්කුවක් අරන් සාමාන්‍ය මිනිහා යුධ පෙරමුණට නොගියට ආර්ථික යුද්ධය වෙනුවෙන් හැමදාම දුකම උරුමකරගත් ජීවිතයට තවත් දුක එකතු කරගෙන රණවිරුවන් දිවි පරිත්‍යාගයෙන් කළ යුද්ධය වෙනුවෙන් උපරිම සහයෝගය ලබාදුන්නා. 
දැන් කුරිරු යුද්ධය නිමවී වසරකට වැඩිකාලයක් ඉක්මව ඇතත් රටේ ආරක්ෂක වියදම යුද්ධ සමයේහී වෙන් කළ මුදල් ප්‍රමාණයේ දෙගුණයට අභිබවා ඇත. ඇමතිවරුන්ගේ වියදම් ඒ හා සමාන අයුරින් වැඩිව ඇත. නමුත් යුද්ධය නිමාවෙන් මෙපමණ කාලයක් ගත වුවද අංශුමාත්‍රයකින් හෝ මහජනතාව වෙත ආර්ථිකමය සහනයක් ලබාදීම කෙරෙහි ආණ්ඩුවේ අවධානය යොමු නොවීම තව දුරටත් අසරණ මහජනතාව තවත් දුක්ඛිත තත්ත්වයට යොමු කර ඇත.අද පාලකයෝ ඒ මතින් ආසියාවේ ආශ්චර්යක් ගැන නිතර දෙවෙලේ උදම් අනති.
මෙවන් කාලකන්නීන් පාලකයන් වශයෙන් තෝරාපත් කළ මහජනතාව වු අපසැමට ස්වභාව ධර්මයා විසින් දඩුවම් නියම කර ඇත. ඒ තවදුරටත් සාදාකාලික දුකම උරුම කරගන්නා ලෙසය .
අවසාන වශයෙන් අප අපටම කියාගන්නට ඇත්තේ කුම්භලාවෝ මාළු කැවා නම් විඳපන් බළලෝ යනුවෙනි....."

5 පන්තියෙ චුටී පුතා
"මගෙ රටට මහින්ද මාමාගේ සරනයි
මගෙ දැයට මහින්ද මාමාගේ සරනයි
දුකකින් වජබුන නිවහල් දෙරනයි
උපතින් අප හට මේ දුක උරුමයි"
sinhala-nazi.blogspot
"ලෝකෙ ලොකුම කිරිබත කාලා, නැව්වලට හුලං පිස්තෝල වලින් වෙඩිතියලා, කළාපීය දැවැන්තයෙකු වන බවට හිස් බස් දොඩවලා හැරෙන්නත් ඉස්සෙල්ලා අපේ කැකිල්ලේ රජතුමා, මහදැනමුත්තා ගෝලයින්ට තනතුරු බෙදුවා වගේ ඇමති තනතුරු බෙදලා දීලා තියෙනවා. මෙන්න බලන්න රට සීග්‍රයෙන් සංවර්ධනය කරා ඇදගෙන යන්නට පත්කල ආශ්චර්‍යමත් කැබිනෙට්ටුවේ තනතුරු නාඩගම;

පියසේන ගමගේ ජාතික සම්පත් ඇමති. නිමල් සිරිපාල ජලසම්පාදන හා වාරිමාර්ග. එතකොට ජලසම්පත් හා වාරිමාර්ග ජාතික සම්පතක් නෙමෙයිද? ඔය වැඩේ පියසේනටම කරන්න බැරිද? ඒ විතරක් නෙමෙයි වාරිමාර්ග සිරිපාලට දෙනකොට ඒ වතුරෙන් කරන ගොවිතැන දෙන්නේ මහින්ද යාපාට. ඒ මදිවට ගොවිතැන බාර මහින්ද යාපාට ගොවියට අත්‍යාවශ්‍ය කෘශිකර්ම සේවා බාරදීලා නෑ. ඒවා චන්ද්‍රසේනට. ඒ කියන්නේ ගොවියෙකුට වැඩක් කරගන්න ඇමතිලා තුන්දෙනෙකු පස්සේ යන්න වෙනවා.

රූරල් එෆයාර්ස් (ග්‍රාමීය කටයුතු ) ඇමතිට, ග්‍රාමීය ජනපද සංවර්ධනය කරන්න බෑ. ඒක කරන්නේ තොන්ඩා. ග්‍රාමීය කටයුතු ඇමති කරන්නේ සංවර්ධන නොවන කටයුතු විතරයි? ඔය වැඩ දෙකම තොන්ඩට හරි අතාවුදට හරි දෙන්නගෙන් එකෙකුට බාරදුන්නානම් බෝක්කුවක් හරි හදාගන්න තිබුණා.

ඩගියට පාරම්පරික කර්මාන්ත හා කුඩාකර්මාන්ත, බදුර්දීන්ට කුඩා හා පාරම්පරික නැතුව ලොකු කර්මාන්ත, බැසිල්ට කර්මාන්ත නැතුව ආර්ථික සංවර්ධනය. බැසිල් මාමට ආර්ථිකේ සංවර්ධනය කරන්න වෙලා තියෙන්නේ කර්මාන්ත මුකුත් නැතුව. එතකොට ලක්ශ්මන් සෙනෙවිරත්න සාඵල්‍යතා (productivity ) සංවර්ධන ඇමති. බැසිල්ගේ ආර්ථික සංවර්ධනයට අත්‍යාවශ්‍ය ප්‍රඩක්ටිවිටි සබ්ජෙක්ට් එක මිනිහට දීලා නෑ. ඒක සෙනෙවිරත්න අලි නැට්ටෙන් සාටකේට පැන්නට තෑග්ගක්.

මෙන්න තව පිස්සුවක්;

රෙජිනෝල්ඩ්ට අපනයන බෝග. හැබැයි අපනයන බෝගයක් වෙන පොල් හා අපනයන බෝග වවන ජනතා වතු සංවර්ධනය ජගත් පුශ්පකුමාරට. රෙජිනෝල්ඩ්ට පොල් හා ජනතාවතුවල වැවෙන ඔක්කොම ජාති තහනම්. ඒවා පුශ්පයගෙ.

මේත් ඒ වගේ නොකෙරෙන වැඩක්;

මහින්ද යාපා කෘෂිකර්මාන්ත ඇමති. හැබැයි කෘශිකර්මාන්තෙ නියැලෙන ගොවියට සහන හා සේවා සපයන කෘෂිසේවා ඇමතිකම එස්.එම් චන්ද්‍රසේනට. මහින්ද යාපාට පුලුවන් ගොවියාට වවපල්ලා කියන්න. හැබැයි සහනයක් හරි සේවාවක් හරි ඕනෑනම් යාපාට කියන්න වෙන්නේ චන්ද්‍රසේනගෙන් ඉල්ලා ගනිල්ලා කියලා. ඒ විතරක් නෙමෙයි කෘශිකර්මාන්ත ඇමතිට වාරිමාර්ග නෑ. ජල සම්පතත් නෑ. එතකොට ගොවියෝ වතුර ඉල්ලනකොට, කැඩිච්ච ඇණිකට් එක හදලා දෙන්න කියනකොට කෘශිකර්ම ඇමතිට තියෙන්නේ අන්න අරයට කියන්න කියලා නිමල් සිරිපාලට ඇඟිල්ල දික්කරන්න.

සුසිල් පැට්‍රෝලියම් ඇමති. හැබැයි චම්පක රණවක බලශක්ති ඇමති. පැට්‍රෝල් හැර අනෙක් ජළවිදුලිය වගේ බලශක්ති තමයි චම්පකට. හැබැයි ජලවිදුලිය නිපදවන වාරිමාර්ග නිමල් සිරිපාලගෙ. සිරිපාලයා පිස්සු කෙලියොත් චම්පක ජල විදුලිය නිපදවලා ඉවරයි. සුසිල් ප්‍රේම ජයන්ත ඩීසල් එව්වේ නැත්නම් චම්පකයා කැළණිතිස්සෙන් ලයිට් දීලත් ඉවරයි. චම්පකට කෙලවෙන්න තමයි ඇමතිකම් බෙදලා තියෙන්නේ. හරිනම් විදුලිබලය බෙදාහැරීමේ ඇමති කියලා තවත් එකෙක්ව දාන්න තිබ්බේ.

මෙන්න තවත් මහින්ද චින්තනයක්;

කුමාර වෙල්ගම ප්‍රවාහණ ඇමති. හැබැයි සී බී රත්නායක පෞද්ගලික ප්‍රවාහන ඇමති. ඒකියන්නේ සී බීට අයිති ප්‍රයිවට් බස් විතරයි. ලංගම බසුයි කෝච්චියි කුමාර වෙල්ගමට. පොඩි එවුන් යන ස්කූල් වෑන් වලටයි නෝනලා යන ඔෆිස් වෑන් වලටයි වගකියන්නේ මුන් දෙන්නාගෙන් කවුද?

අනුර ප්‍රියදර්ශණ යාපා පරිසර ඇමති. හැබැයි පරිසරයේම කෑල්ලක් වෙන වනසතුන් අයිති සී එම් චන්ද්‍රසේනට. එතකොට අනුර ප්‍රියදර්ශනට අයිති වනසතුන් නැති පරිසරය විතරයි. සත්තුටික චන්ද්‍රසේනට, සත්තු ඉන්න කැලේ අනුර ප්‍රියදර්ශණට. ගිය සැරේ සත්තුවත්තයි, ජාතික වනෝද්‍යානයි දිලා තිබ්බේ බැසිල්ගේ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශෙට. මේ සැරේත් එහෙමනම් අනුර ප්‍රියදර්ශණට අයිති වෙන්නේ, සත්තුත් නැති, වනෝද්‍යානත් නොවන කැලෑ විතරයි.
මෙය ආසියාවේ ආශ්චර්‍යය නොවේද? අපි හෙට අනිද්දාම කලාපීය දැවැන්තයෙකු වෙන බවට පෙරමග නිමිති නොවේද මේ පෙනෙන්නේ? "

4 comments:

  1. මෙහෙමනේ Snooper. ඔය නීති කියන ඒව හදන්නෙත් එයාලා. කඩන්නෙත් එයාලනෙ. අපි කරන්නෙ එයාලට බලය දෙන එක නේ. කොටින්ම බැලුවොත් අපියි වැරදි. ඇත්තටම ඔය නාස්ති කරපු සල්ලි වලින් ලංකාවේ පාසල් කීයක් නගා සිටුවන්න පුලුවන්ද ?

    වැඩිය ඕනෙ නෑ සහෝදරයා . එක පාරක් ගංවතුර ආපු වෙලාවේ කොලඹ ඉස්කෝල නිවාඩු දුන්නේ නෑ. නමුත් පදවි ප්‍රාප්තියට කොලඹ ඔක්කොම ඉස්කෝල ඔක්කෝටම ඔක්කොම ඉස්කෝල ඔක්කෝටම ඔක්කොම ඉස්කෝල ඔක්කෝටම වගේ නිවාඩු !!!! අනෙ මෙහෙමත් ආන්ඩුවක් !!!!!!

    ReplyDelete
  2. පොඩි ඉල්ලීමක් - පුලුවන් නම් word verification අයින් කරලා දාන්න එතකොට කොමෙන්ට් කරන්න ලෙසියි.

    ReplyDelete
  3. ප්‍රතිචාර වලට බොහෝම ස්තුතියි මධුරංග, මම නම් හිතන්නෙ මේක මේ ආණ්ඩුවෙ විතරක් වරදක් නෙමෙයි, මොන ආණ්ඩුව ආවත් අපිට දුක තමයි. ඡන්දෙට කලින් ඔක්කෝම පන්පෝරි ගහනව, ඒත් ආවට පස්සෙ මහජනයට පාන් වත් නෑ.
    ඔබ කියන කතාව ඇත්ත, අපි තමයි වැරදි, ඒත් ඉතින් ඊලග ඡන්දෙ එනකොට, අපිට ඕව මතක නෑ.

    ReplyDelete
  4. මේවට වගකියන්න ඔනේ මොලේ කල්පනා කරන්නැතුව අනුන්ගේ තෙල් කාලා ඡන්දෙ දෙන මහජනතාව...

    ඇමති මණ්ඩලයත් එකයි...අයවැයත් එකයි...

    එකකට එකක් ගැලපෙන්නේ නෑ..ඕකෙන් පේනවා බොරු පම්පෝරි ගැහුවට කිසිම සැලැස්මකට වැඩ කරන්නේ නෑ කියලා...

    හැබැයි අපේ සමහරු හිතන් ඉන්නවා තව ටික කාලෙකින් ලෝකෙ පලවෙනි තැන ලංකාව වෙයි කියලා...

    හැබැයි බලං යද්දී ඒක කරන්න එච්චර අමාරුත් නෑ..
    කරන්න තියෙන්නේ අපේ රට ලෝකේ අංක එකේ රට වුනා කියලා ITN ප්‍රවෘත්ති වල කියන්න විතරයිනෙ...

    ReplyDelete

Total Pageviews

Advertise