Wednesday, April 20, 2011

ගොත ගැසීම මගහරවා ගන්නට මහරජු ගෙන් පාඩමක්‌


වසරේ හොඳ ම චිත්‍රපටය ලෙසින් මෙවර "ඔස්‌කාර්" සම්මානය හිමි වූයේ KING'S SPEECH චිත්‍රපටයට ය. ගොත ගැසීමේ සහජ ආබාධයට ගොදුරු වූ බ්‍රිතාන්‍යයේ හය වැනි ජෝර්ඡ් රජු එකී දුබලතාව ජයග්‍රහණය කළ අයුරු විදහා දැක්‌වෙන මෙකී විශිෂ්ට සිනමා කෘතිය වෙත අසීමාන්තික ප්‍රේක්‍ෂක අවධානයක්‌ යොමු ව ඇති බැව් මේ වන විට දැකගත හැකි ව තිබේ. 

KING'S SPEECH සිනමා කෘතිය ලොව පුරා අතිමහත් ජනාදරයට පත් වූයේ බ්‍රිතාන්‍යයේ හය වැනි ජෝර්ඡ් රජු මහජන දේශන පැවැත්වීමේ දී දැක්‌වූ සහජ සහ සත්‍යමය දුබලතාව ප්‍රබල සිනමාත්මක භාෂාවක්‌ ඔස්‌සේ ප්‍රේක්‍ෂකයා වෙත ඉදිරිපත් කිරීම හේතුවෙනි. එසේ ම එය හය වැනි ජෝර්ඡ් රජු ගේ සැබෑ ජීවිතය පදනම් කරගත්, සත්‍යවාදී සිනමා කෘතියක්‌ ද වෙයි. 

මෙකී චිත්‍රපටය තුළින් මහජන දේශනයක්‌, වඩාත් සාර්ථක හා චතුර ලෙසින් පැවැත්වීම පිළිබඳව පූර්වාදර්ශයන් රැසක්‌ ම, සියලු වර්ගයන්හි සන්නිවේදකයන් වෙත ලබා දෙනු ලබයි. පහත ගොනු කර දැක්‌වෙන්නේ මෙකී සිනමා කෘතිය තුළින් ප්‍රකාශිත එකී කරුණු ය. 

1. පොදු දේශනයක්‌ පැවැත්වීම පිළිබඳව කිසියම් අපහසුතාවකින් පෙළෙන්නේ නම් කිසිදු විටක දී හෝ ඒ සඳහා වූ උත්සාහය අත් නො හරින්න. ගැටලුව හඳුනාගැනීමත්, එය විසඳීම කෙරෙහිත් අවධානය යොමු කරන්න. තමන් හට ගැටලුවක්‌ පවතින බැව් පිළිගන්න. 
2. දේශනය සිදු කළ යුතු ස්‌ථානය තුළ හෝ ඒ හා සමාන ස්‌ථානයක්‌ තුළ හෝ පුහුණුවීම් කටයුතු සිදු කරන්න. දේශනය සිදු කළ යුතු ස්‌ථානය තුළ දී ම පෙර පුහුණුව සිදු කිරීම ප්‍රධාන දේශනය පවත්වන අතරතුර මනස සන්සුන්ව හා නිරවුල්ව තබා ගැනීමට ඉවහල් වෙයි. 

3. දේශනයේ ආරම්භය කෙරෙහි දැඩි සැලකිල්ලක්‌ දක්‌වන්න. සන්නිවේදකයන් වඩාත් නොසන්සුන්භාවයට පත් වන්නේ දේශනයක ආරම්භක විනාඩි කිහිපය තුළ දී විනා එකී මැද හෝ අවසන් හෝ භාගයේ දී නො වේ. දේශනය සඳහා හොඳ ආරම්භයක්‌ ලබාගැනීමත් සමග එහි මැද හා අවසන් කොටස වඩාත් සාර්ථක හා විශ්වසනීයව සිදු කිරීම පිණිස අස්‌වැසිල්ලක්‌ ලැබේ. 

4. තමන්ට පහසුතම හා සාර්ථක වන ක්‍රමවේදය තමන් ම තෝරාගන්න. පුද්ගල ස්‌වභාවයේ හා දුබලතාවේ ප්‍රබලතාව එකිනෙකා කෙරෙහි අනන්‍ය වෙයි. දුබලතාව මඟහරවා ගැනීම පිණිස තමන්ට යෝග්‍යතම ක්‍රමවේදය කෙරෙහි අවධානය යොමු කරන්න. ජෝර්ඡ් රජු බොහෝ වෛද්‍යවරුන් වෙතින් ප්‍රතිකාර ලබාගත්ත ද සාර්ථකත්වයක්‌ ලබාගැනීමට නොහැකි විය. සාර්ථකත්වය කෙරෙහි මඟපෙන්වු දොස්‌තර ලයනල් ද එක්‌ අවස්‌ථාවක දී තමන් විසින් සිදු කෙරෙන සාම්ප්‍රදායික නො වූ ප්‍රතිකාර කෙරෙහි සැක පහළ කරයි. 

5. කථන අපහසුතාව ම, සාර්ථක දේශනයක්‌ සඳහා උපයෝගී කරගන්න. වින්ස්‌ටන් චර්චිල් ද මෙකී අකරතැබ්බය ළමා වියේ දී තමන් හට ද පැවැති බැව් කිං ජෝර්ඡ් හට පවසයි. එහෙත් මෙහි දී චර්චිල් එකී දුබලතාව ජය ගැනීම පිණිස හඬ උච්චාරණයේ ශෛලිය වෙනස්‌ කරගත් බව ද සිනමා කෘතිය තුළ කියවෙයි. කිං ජෝර්ඡ් ද තම අවසන් දේශනය තුළ මෙකී ක්‍රමවේදය ම අනුගමනය කරන අතර එහි දී කාලය වැඩි කරගන්නා ආකාරය පැහැදිලිව දැකගත හැකි වෙයි. 

හඬ උච්චාරණයෙහි අපහසු වචන දෙකක්‌ අතර නැවතුම් කාලය වැඩි කිරීම, කිං ජෝර්ඡ් වෙත යහපත් ප්‍රතිඵල අත් කර දෙයි. 

6. දේශන පිටපතෙහි ගැටලු ඇති කරන ඡේදයන්හි වචන කෙරෙහි සැලකිලිමත් වන්න. 

කිං ජෝර්ඡ් People යන වචනය උච්චාරණය කිරීම තුළ ඔහු ගේ ගොත ගැසීම උත්සන්න වෙයි. දොස්‌තර ලයනල් උපදෙස්‌ දෙන්නේ එය a people ලෙසින් හඬ නඟන ලෙස ය. ඇතැම් විටක අපහසු වචනය වෙනුවෙන් සමාන අරුත ඇති වෙනත් වචනයක භාවිතය ද සාර්ථක ප්‍රතිඵල අත් කර දෙයි. දොස්‌තර ලයනල්, රජු ගේ දේශන පිටපත්හි අවශ්‍ය සංස්‌කරණයන් සිදු කරමින් දේශනයන් සාර්ථකව ඉදිරිපත් කිරීම පිණිස රජුට සහාය වෙයි. 

7. ගීත ගායනා කරන්න. වචන උච්චාරණයේ දී, රිද්මය හා ගලා යැම (Cadence) වැදගත් වෙයි. චතුර ලෙස කථා කිරිමේ දී වචන අතර නැවතුම් කාලය සහ රිද්මය පිළිබඳව වූ පුහුණුව හා අවබෝධය වැදගත් වෙයි. කිං ජෝර්ඡ් කථන පුහුණු අභ්‍යාසයන් තුළ දරු නැළවිලි ගීත හා ළමා ගී කියන්නේ මේ සඳහා ය. 

කායික රෝග විශේෂඥ වෛද්‍ය 
වරුණ ගුණතිලක - එක්‌සත් රාජධානිය

2 comments:

  1. Oya me related posts widget eka dagaththe kohomada kiyanna puluwanda?

    ReplyDelete
  2. lasith, I used this script

    http://www.bloggerplugins.org/2009/08/related-posts-for-blogger-widget.html

    ReplyDelete

Total Pageviews

Advertise